සිංගප්පූරු වෙළෙඳ ගිවිසුම යළි සලකා බැලීමට ජනපති පත් කළ කමිටුව කරුණු අධ්‍යයනයට

ජූලි 13, 2020

    යහපාලන රජය සමයේ සිංගප්පූරුව සමග අත්සන් කළ නිදහස් වෙළෙඳ ගිවිසුම යළි සලකා බැලීම සඳහා ජනාධිපතිතුමා පත් කළ කමිටුව එහි කරුණු තවදුරටත් අධ්‍යයනය කරමින් සිටින බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇත.

    සිංගප්පූරු ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම අත්සන් කර තිබෙන ආකාරය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට චෝදනා එල්ල විය.

    ඒ සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුලු පාර්ශ්ව කිහිපයක් මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනුකර තිබිණ.

    එම පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද කැඳවීය.

    එහිදී නීතිපතිවරයා තවදුරටත් අධිකරණයට දන්වා සිටියේ මෙම ගිවිසුම පිළිබඳ සොයා බැලීමට ජනාධිපතිතුමා පත්කළ කමිටුවට රටේ උද්ගත වූ තත්ත්වය හමුවේ සිය කටයුතු අවසන් කිරීමට මෙතෙක් නොහැකි වී ඇති බවයි.

    ඒ සඳහා තවදුරටත් කල් ලබා දෙන ලෙස ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියා.

    එම ඉල්ලීම පිළිගත් ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම නොවැම්බර් 3 වැනි දින යළි කැඳවීමට නියෝග කෙරිණ.

    එදිනට එම කටයුතුවල ප්‍රගතිය වාර්තා කරන ලෙස නීතිපතිවරයාට දැනුම් දී ඇත.

    පෙත්සම්කරුවන් කියාසිටින්නේ සිංගප්පූරුව හා ශ්‍රී ලංකාව අතර නිදහස් වෙළෙඳ ගිවිසුම අත්සන් කිරීමේදී යහපාලන රජය පාර්ලිමේන්තු අනුමැතිය ලබාගෙන නොමැති බවයි.

    මෙම ගිවිසුම ක්‍රියාත්මක වුවහොත් සිංගප්පූරුවට වැඩි වාසි අත්වන බව ද ඔවුන් පෙන්වා දේ.

    ශ්‍රී ලංකාවේ වෙළෙඳ ක්ෂේත්‍රයට හා වෘත්තීයවේදීන්ට ද දැඩි අගතියක් සිදුවන බවයි, පෙත්සම්කරුවන්ගේ අදහස.

    මේ නිසා අදාළ ගිවිසුම අත්සන් කර ඇති ආකාරය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි තීරණය කර එය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටී.

    Latest News