2018 ඔක්. මාසයෙන් පසු විධිමත් බුද්ධි සමාලෝචන රැස්වීමක් පවත්වා නැහැ

අගෝ 20, 2020

    ජාතික ආරක්‍ෂාව සතිපතා සාකච්ජාවට බඳුන් කෙරෙන බුද්ධි සමාලෝචන රැස්වීම 2018 ඔක්තෝබර් මාසයෙන් පසු විධිමත්ව පවත්වා නැති බව, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ ඊයේ අනාවරණය විය.

    හිටපු රාජ්‍ය බුද්ධි අධ්‍යක්‍ෂ නිලන්ත ජයවර්ධන මහතා කොමිසම හමුවේ සාක්‍ෂි දුන් අවස්ථාවේ හෙළිදරව් වුණේ, ඉකුත් වසරේ අප්‍රේල් 4 වැනිදා විදෙස් බුද්ධි අංශයකින් ප්‍රහාරය පිළිබඳ කළ පූර්ව දැනුම්දීම පිළිබඳ ඔහු යුද හමුදා බුද්ධි අධ්‍යක්‍ෂ අංශය දැනුවත් කර නොමැති බවයි.

    පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ හිටපු රාජ්‍ය බුද්ධි අධ්‍යක්‍ෂ නිලන්ත ජයවර්ධන මහතා, සාක්‍ෂි ලබා දුන්නේ 14 වැනි දිනටයි. මෙහිදී අතිරේක සොලිසිටර් ජනරාල්වරිය ප්‍රශ්න කර සිටියේ අප්‍රේල් 4 වැනි දින විදෙස් බුද්ධි අංශයකින් ලද ප්‍රහාරය පිළිබඳ පූර්ව දැනුවත් කිරීමේ තොරතුර සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සහ යුද හමුදා බුද්ධි අධ්‍යක්‍ෂ මණ්ඩලය දැනුවත් කළේ ද යන්නයි. ඊට පිළිතුරු දුන් නිලන්ත ජයවර්ධන මහතා ප්‍රකාශ කළේ, අප්‍රේල් 4 වැනිදා ලද විදෙස් බුද්ධි අංශ තොරතුර බුද්ධි තොරතුරක් බවට පරිවර්තනය කර අප්‍රේල් 9 වැනි දින පොලිස්පතිවරයාට යැවීමේදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට ද එහි පිටපතක් යොමු කළ බවයි.

    කෙසේ වෙතත්, අප්‍රේල් 4 වැනි දින ලද ප්‍රහාරය පිළිබඳ පූර්ව දැනුවත් කිරීමේ තොරතුර සම්බන්ධයෙන් යුද හමුදා බුද්ධි අධ්‍යක්‍ෂ මණ්ඩලය හෝ එහි අධ්‍යක්‍ෂවරයා ඒ පිළිබඳ දැනුවත් නොකළ බව නිලන්ත ජයවර්ධන මහතා සඳහන් කළේය. මෙහිදී සාක්‍ෂිකරුගේ අවධානය ඉකුත් වසරේ අප්‍රේල් 17 වැනි දිනට ගෙන යමින් අතිරේක සොලිසිටර් ජනරාල්වරිය විමසුවේ, එදින නැගෙනහිර පළාතේ සිදුවූ යම් සිදුවීමක් පිළිබඳ දැනුවත් වූයේ ද යන්නයි. ඊට පිළිතුරු දෙමින් සාක්‍ෂිකරු සඳහන් කළේ, එදින රාජ්‍ය බුද්ධි සේවයේ නැගෙනහිර පළාත් භාර නියෝජ්‍ය අධ්‍යක්‍ෂවරයා තම දුරකතනය අමතා “සර් ඊයේ පිපිරීමක් වෙලා තියෙනවා. මඩකලපුව පොලිසිය කියනවා අකුණක් කියලා. හැබැයි අකුණක් වෙන්න බැහැ. ඊට වඩා දෙයක් තියෙනවා“ යනුවෙන් සඳහන් කළ බවයි.

    ඒ අනුව තමන් ඒ මොහොතේ අදාළ සිද්ධිය පරීක්‍ෂා කරන ලෙස නිලධාරීන්ට උපදෙස් දුන් අතර, වැඩිදුර විමර්ශනයට තවත් නිලධාරීන් කණ්ඩායමක් 18 වැනි දින කොළඹ සිට කාත්තන්කුඩි ප්‍රදේශයට යැවූ බව සාක්‍ෂිකරු සඳහන් කළේය. පසුව අදාළ පිපිරීම යතුරු පැදි බෝම්බ පිපිරවීමක් බව සොයාගත් අතර, එම බයිසිකලේ චැසි අංකය තුළින් එම පිපිරවීමට වනාතවිල්ලුව, පුපුරන ද්‍රව්‍ය හා සම්බන්ධ සහරාන් හෂීම් සම්බන්ධ බවත්, මෙය ඔහුගේ පෙර පුහුණුවක් බව, නිරීක්‍ෂණය වූ බවත් සාක්‍ෂිකරු සඳහන් කළේය. මෙම යතුරු පැදි බෝම්බ පිපිරවීම පිළිබඳ ආරක්‍ෂක ලේකම්වරයා දැනුවත් කළේ ද යන්න එහිදී අතිරේ සොලිසිටර් ජනරාල්වරිය ප්‍රශ්න කළාය.

    අදාළ පිපිරීම සම්බන්ධයෙන් තමන්ට ලැබී තිබූ ඡායාරූප අප්‍රේල් 18 වැනි දින වට්ස්ඇප් මාර්ගයෙන් යොමු කළ අතර, පසුව හේමසිරි ප්‍රනාන්දු මහතාට දුරකතන ඇමතුමක් ලබාදී සිද්ධිය පිළිබඳ දීර්ඝ පැහැදිලි කිරීමක් කළ බව නිලන්ත ජයවර්ධන මහතා ප්‍රකාශ කළේය. වැඩිදුරටත් සාක්‍ෂි දුන් නිලන්ත ජයවර්ධන මහතා කියා සිටියේ, තමන් අප්‍රේල් 18 වැනි දින පෙරවරුවේ දුරකතන ඇමතුමක් ලබාගෙන ජාතික බුද්ධි ප්‍රධානියා ද ඒ සම්බන්ධයෙන් දැනුවත් කළ බවයි. අදාළ යතුරු පැදි පිපිරීම සම්බන්ධයෙන් එදින උදෑසන පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා දැනුවත් කරමින් “සර් මේකට ඉක්මනට පරීක්‍ෂණයක් කරන්න ඕනේ. මේකට සහරාන් සම්බන්ධයි. කාත්තන්කුඩි පොලිසියෙන් හරියට පරීක්‍ෂණ කෙරෙන්නේ නැහැ. සී.අයි.ඩී. එකට බාරදෙමු“ යනුවෙන් පැවසූ බව, නිලන්ත ජයවර්ධන මහතා කියා සිටියේය. ඊට පිළිතුරු දෙමින් “හරි නිලන්ත, ඔයා සී.අයි.ඩී. එකට කියන්න. මමත් කියන්නම්“ යනුවෙන් පූජිත් ජයසුන්දර මහතා ප්‍රකාශ කළ බව, සාක්‍ෂිකරු කොමිසම හමුවේ ප්‍රකාශ කළේය.

    යතුරු පැදි පිපිරීම සම්බන්ධයෙන් එවකට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව බාරව සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතා, ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්‍ෂ වරුණ ජයසුන්දර මහතා සහ යුද හමුදා බුද්ධි අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අධ්‍යක්‍ෂවරයාද අප්‍රේල් 18 වැනි දින අදාළ සිද්ධිය සම්බන්ධයෙන් දැනුවත් කළ බව, නිලන්ත ජයවර්ධන මහතා කොමිසම හමුවේ වැඩිදුරටත් සඳහන් කළේය.

    Latest News