හිටපු අගමැති රනිල්ට ජනාධිපති පරීක්‍ෂණ කොමිෂන් සභාවෙන් නැවතත් නොතීසි (වීඩියෝ)

අගෝ 21, 2020
  • හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට සැප්තැම්බර් 4 සහ 7 යන දිනවල පසුගිය රජයේ දේශපාලන පලිගැනීම් පිලිබඳ ජනාධිපති පරීක්‍ෂණ කොමිෂන් සභාව හමුවේ පෙනී සිටින ලෙස දන්වා අද නොතීසි නිකුත් කෙරිණ.

    ඒ, ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ හිටපු ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක මහතා සහ දිවිනැගුම දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්‍ෂ ජනරාල් ආර්.කේ.කේ.ඒ. රණවක මහතා විසින් ජනාධිපති කොමිසම වෙත කරන ලද පැමිණිලි දෙකකට අදාළවයි.

    ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ හිටපු ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක මහතාගේ පැමිණිල්ලකට අදාළව හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු වගඋත්තරකරුවන් 15 දෙනෙකුට ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින ලෙස පසුගිය 12 වැනිදා නොතීසි නිකුත් කෙරිණ.

    ඒ අනුව, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මංගල සමරවීර, මලික් සමරවික්‍රම සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ එම්.ඒ. සුමන්තිරන් මහතා ජනාධිපති කොමිසම හමුවේ අද පෙනී සිටියේය. හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද කොමිසම හමුවට පැමිණ නොසිටි අතර, වෙනත් දිනයක් ඉල්ලා කර ඇති දැනුම්දීමට අනුව ලබන 4 වැනිදා කොමිසම හමුවේ පෙනී සිටින ලෙසට නියෝග කරමින් ඔහුට යළි නොතීසි නිකුත් කෙරිණ. අනුර කුමාර දිසානායක සහ පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරුන් කොමිසම හමුවේ පෙනී සිටීමට වෙනත් දිනයක් ඉල්ලා සිටියේය.

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රාවුෆ් හකීම්, ආර්. සම්බන්ධන්, ෆීර්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සහ දූෂණ විරෝධි කමිටුවේ ලේකම් ආනන්ද විජේපාල මහතාට සැප්තැම්බර් 09 හෝ 11 යන දිනවල කොමිසමේ හමුවේ පෙනී සිටින ලෙසට කොමිෂන් සභාවේ සභාපති හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා නොතිසි නිකුත් කළේය.

    සිතාසි නිකුත් කර ඇති වැඩ තහනමට ලක්ව සිටින කඩුවෙල මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතාද කොමිසම හමුවට අද පැමිණ සිටියේ නැහැ. ජනාධිපති නීතිඥවරුන් වන ආචාර්ය ජයම්පති වික්‍රමරත්න සහ ජේ.සී වැලිඅමුණ යන මහත්වරුන් විදෙස්ගතව සිටින බවට කොමිසමට දැනුම් දී තිබිණ. මංගල සමරවීර, චම්පික රණවක, සහ මලික් සමරවික්‍රම මහත්වරුන් සිය නීතිඥයා මාර්ගයෙන් සම්පූර්ණ සාක්‍ෂි සටහන් ඇතිව පැමිණිළි විභාගයට අදාළ සියලු ලේඛන ලබාදෙන ලෙස ඉල්ලා සිටියේය. පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ එම්.ඒ. සුමන්තිරන් මහතා අදාළ ලේඛනවල දෙමළ පිටපත් ඉල්ලා සිටි අතර, හිටපු නියෝජ්‍ය පොලිස්පති රවී වෛද්‍යාලංකාර ද අදාළ ලේඛන ලබාදෙන ලෙස කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කළේය.

    ඒ අනුව, කොමිෂන් සභා පනතේ 16 වැනි වගන්තියට අදාළව වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටින සියලු දෙනාටම සම්පූර්ණ සාක්‍ෂි සටහන් ඇතුළු අදාළ ලේඛන ලබාදෙන ලෙසයි, ජනාධිපති කොමිෂන් සභාවේ සභාපති විනිසුරු නියෝග කලේ. දිවිනැඟුම දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්‍ෂ ජනරාල් හේවාහැටගේ සුමනපාල සහ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකයේ කටයුතු කළ සහකාර පොලිස් අධිකාරි පී.කේ. සේරසිංය යන මහත්වරු ද අද කොමිසන් සභාව හමුවේ පෙනී සිටියේය.

    යහපාලන රජය සමයේ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ස්ථාපනය කරන ලද දූෂණ විරෝධි කමිටුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංගණය කරමින් පිහිටුවා තිබෙන බවට, කොමිසම හමුවේ ඉදිරිපත් වූ සාක්‍ෂිවලින් කරුණු හෙළිවිය. ජාතික විධායක සභාවේ ක්‍ෂණික ප්‍රතිචාර කමිටුවෙහි පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක, ජනාධිපති නීතිඥ ජේ.සී. වැලිඅමුණ, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර යන අය මූලිකත්වය ගෙන කටයුතු කළ බවට ද එහිදී කරුණු හෙළිදරව් කෙරිණ.

    පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්‍ෂ මහතා කොමිසම හමුවේ සාක්‍ෂි ලබාදීමේදී මෙම ක්‍ෂණික ප්‍රතිචාර කමිටුව මගින් මූලිකවම රාජපක්‍ෂ රෙජිමයට එරෙහි නඩු පැවරීම් සහ අත්අඩංගුවට ගැනීම් සිදු වූ බව ප්‍රකාශ කළේය. එම කමිටුවේ මූලික පරමාර්ථය පුද්ගලයින් 15 දෙනෙකුගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීම බව, ඔහු එහිදී ප්‍රකාශ කළේය.

    දූෂණ විරෝධි කමිටුව ස්ථාපනය කිරීම මෙන්ම එහි ක්‍රියාකාරිත්වයට අදාළව කොමිසම හමුවේ මතු වූ කරුණු පදනම් කරගෙනයි, ජනාධිපති කොමිසන් සභාව පුද්ගලයින් 15 දෙනෙකුට නොතිසි නිකුත් කරනු ලැබුවේ.

    දේශපාලන බලපෑම් මත දිවිනැඟුම ව්‍යාපෘති දෙකක් සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ කොට්ඨාසය විමර්ශනයක් ආරම්භ කර අසත්‍ය චෝදනා මත හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ සහ දිවිනැඟුම අධ්‍යක්‍ෂ ජනරාල් ආර්.කේ.කේ.ඒ. රණවක සමඟ තමා අත්අඩංගුවට ගැනීමට ක්‍රියා කිරීම සම්බන්ධයෙනුයි, ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ හිටපු ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක මහතා ජනාධිපති කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කළේ. වැඩිදුර විභාගය ලබන 4,9,10 සහ 11 දින තෙක් කල් තැබිණ.

    Last modified on සිකුරාදා, 21 අගෝස්තු 2020 20:14

    Latest News