ප්‍රාථමික අධ්‍යාපන සංවර්ධනයට යුනිසෙෆ් සමඟ සාකච්ඡා

සැප් 07, 2020

    ශ්‍රී ලංකාවේ ප්‍රාථමික අධ්‍යාපනය සංවර්ධනය කිරීම වෙනුවෙන් වන ඉදිරි ක්‍රියාමාර්ග සඳහා යුනිසෙෆ් ආයතනයේ ඉදිරි දායකත්වය සම්බන්ධයෙන් සාකච්ඡාවක් අද (07) අධ්‍යාපන අමාත්‍ය, මහාචාර්ය ජී එල් පීරිස් මහතා සහ යුනිසෙෆ් ආයතනයේ නියෝජිතවරුන් අතර පැවැත්විණි.

    ප්‍රාථමික අධ්‍යාපනයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම හා පූර්ව ළමාවිය ඇතුළු ප්‍රාථමික අධ්‍යාපන අදියරයන්හි සිදුකළ යුතු යැයි අපේක්ෂා කරන සියලු යෝජනා සහ නිර්දේශ ඉදිරියේ දී අධ්‍යාපන අමාත්‍යාංශය වෙත ලබාදීමට ද මෙහි දී යුනිසෙෆ් ආයතනය එකඟතාව පළ කළේය.

    එමෙන් ම නුදුරේ දී ක්‍රියාවට නංවන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළ ප්‍රාථමික අධ්‍යාපන ප්‍රතිසංස්කරණයට අදාළ ක්‍රියාමාර්ග සඳහා යුනිසෙෆ් ආයතනයේ සහාය අපේක්ෂා කරන බවත්, සියලු සැලසුම් ක්‍රියාවට නැංවීමේ දී ග්‍රාමීය මට්ටමේ සිට ජාතික මට්ටම දක්වා පූර්ණ අවධානය යොමු කරමින් සියලු පාර්ශවයන්හි අදහස්වලට ඉඩ ලබාදෙමින් කටයුතු කරන බව ද අධ්‍යාපන අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

    අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ රාජ්‍ය අමාත්‍ය, ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමන් සමඟ සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රාථමික අධ්‍යාපන ශාඛාවේ ප්‍රධානීන් සමඟ මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු සාකච්ඡා කරමින් අදාළ සම්බන්ධීකරණ සහයෝගය අධ්‍යාපන පද්ධතිය වෙත ලබාදෙන මෙන් ද මෙහි දී අමාත්‍යවරයා ඉල්ලා සිටියේය.

    යුනිසෙෆ් ශ්‍රී ලංකා ප්‍රධාන නියෝජිත ටිම් සටන් (Tim Sutton) , අධ්‍යාපන ප්‍රධානී යෂින්කා ජයසිංහ, යුනිසෙෆ් නියෝජිත ටකහෝ ෆුකාමි (Takaho Fukami) යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    Latest News