නිව් ඩයමන්ඩ් නෞකාවේ තෙල් සාම්පල විමර්ශනයට

සැප් 11, 2020

    ශ්‍රී ලංකාවට ආසන්න මුහුදේ ගිනි ගැනීමට ලක්වූ නිව් ඩයමනඩ් නෞකාව තුළ තිබෙන තෙල් සාම්පල ලබාගෙන විමර්ශනයක් සිදුකිරිම සදහා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද සමුද්‍රීය පරිසර ආරක්ෂක අධිකාරියේ සභාපතිනියට අවසර ලබා දුන්නාය.

    මීට අදාළ පැමිණිල්ලක් අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී විමර්ශන සිදු කරන ශ්‍රී ලංකා සමුද්‍රිය පරිසර ආරක්ෂක අධිකාරිය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා කළ ඉල්ලීමකට අනුවයි මෙම නියෝගය කළේ.

    රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ශ්‍රී ලංකාවේ සංගමන්කන්ද මුහුදු ප්‍රදේශයේ සිට නාවික සැතපුම් 38 ක දුරින් ඉකුත් 03 වනදා ඒම්.ටී.නිව් ඩයමනඩ් නැමැති නෞකාව ගිනි ගැනීමට ලක්වූ බව සඳහන් කළේය.

    ගිනි ගැනීම සිදු වන අවස්ථාවේ අදාළ නෞකාව තුළ බොරතෙල් මෙට්‍රික් ටොන් 270000 (කිලෝ ග්‍රෑම් මිලියන 270 ක්) වැනි විශාල ප්‍රමාණයක් අන්තර්ගතව තිබූ බවත් අදාළ නැවේ ගින්න මේ වන විට ශ්‍රී ලංකා නාවික හමුදාව, ගුවන් හමුදාව සහ ඉන්දීය ගුවන් හමුදාවේ මැදිහත්වීමෙන් නිවා දමා ඇති බවත් ඔහු සඳහන් කර සිටියේය.

    මෙම ගින්න ඇතිවූ අවස්ථාවේදී ඒ තුළ සේවයේ නියුතු නාවිකයින් ඒ පිළිබඳව වගකිවයුතු බලධාරී ආයතන වෙත දැනුවත් කිරීමේ වගකීම පැහැර හැර ඇති බව විමර්ශන වලින් පෙනී යන්නේ ඇයි සඳහන් කළ ‍නියෝජ්ය සොලිසිටර් ජනරාල්වරයා මෙවැනි ගින්නක් නෞකාව තුළ ඇති වූ අවස්ථාවක වහා ක්‍රියාත්මක විය යුතු ස්වයංක්‍රීය ගිනි මැඩලීමේ ක්‍රමවේදය ඔවුන් විසින් ක්‍රියාවේ යොදවා නොමැති බව පෙනී යන්නේ යැයි ද සඳහන් කර සිටියේය.

    මෙම අනතුර හේතුවෙන් අදාළ නෞකාව තුළ තිබූ විශාල බොරතෙල් තට්ටු මුහුදු ජලය හා මිශ්‍ර වී තිබෙන බව සඳහන් කළ රජයේ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා එම තෙල් මිශ්‍ර ජල සාම්පල සමුද්‍රීය පරිසර ආරක්ෂක අධිකාරියේ නිලධාරීන් විසින් ලබාගෙන මේ වන විට විමර්ශන සඳහා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත යොමු කර ඇති බවද සඳහන් කර සිටියේය.

    මෙහිදී රජයේ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දිලීප පිරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් දැනට මුහුදු ජලය මිශ්‍ර වී තිබෙන තෙල්, ගිනි ගැනීමට ලක්වූ නෞකාවෙන් කාන්දු වූ තෙල් බවට සනාථ කර ගැනීම සඳහා විමර්ශන සිදු කෙරෙන බවත් ඒ සඳහා අදාළ නෞකාව තුළ තිබෙන තෙල් සාම්පල ලබා ගැනීම සඳහා සමුද්‍රීය පරිසර ආරක්ෂක අධිකාරියේ සභාපතිනියට අවසර ලබා දෙන ලෙසත් ඉල්ලා සිටියේය.

    එම ඉල්ලීම පිළිගත් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය විමර්ශන කටයුතු සඳහා ගිනි ගැනීමට ලක් වූ නෞකාව තුළ තිබෙන තෙල් සම්පල ලබා ගැනීමට අදාළ අධිකාරියේ සභාපතිනිය වෙත අවසර ලබාදුන්නාය.

    ඊට අවශ්‍ය පහසුකම් සපයා දෙන ලෙසද අදාළ නැව හිමි සමාගමේ දේශීය නියෝජිත සමාගම වෙතටද මහේස්ත්‍රාත්වරිය විසින් නියෝග කර සිටියාය.

    නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් මහතා තවත් ඉල්ලීමක් ඉදිරිපත් කරමින් අදාළ නෞකාවේ සිට දිවි ගලවාගත් එහි කාර්ය මණ්ඩලයට අයත් 23 දෙනෙකු මේ වන විට නාවික හමුදාවේ ආරක්ෂාව යටතේ ගාල්ල ප්‍රදේශයේ නිරෝධායනය වෙමින් සිටින බවත් ඔහුගෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර දෙන ලෙසත් ඉල්ලීමක් කළේය.

    එම ඉල්ලීමද පිළිගත් මහේස්ත්‍රාත්වරිය අදාල කාර්ය මණ්ඩලයේ නිලධාරීන් ගෙන් ප්‍රකාශන ලබා ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලබා දුන් අතර ඊට අවශ්‍ය පහසුකම් සලසන ලෙස ගිනි ගැනීමට ලක්වූ නෞකාවේ දේශීය නියෝජිත සමාගම වෙත නියෝග කර සිටියාය.

    නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා තවත් ඉල්ලීමක් ඉදිරිපත් කරමින් මෙම ගින්න හටගත් අවස්ථාවේ දී එහි කාර්ය මණ්ඩලය, එය නිවා දැමීම සඳහා විධිමත් ක්‍රියා පටිපාටියක් අනුගමනය කළේ ද? යන්න තහවුරු කර ගැනීම සඳහා අදාළ නෞකාවේ ගමනාගමනය දැක්වෙන නාවික දත්ත සටහන් යන්ත්‍රයේ (vesel data recorder) පිටපතක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත නිකුත් කරන ලෙස අදාළ නෞකාව හිමි සමාගමේ දේශීය නියෝජිත සමාගම වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටියේය.

    එම ඉල්ලීමද පිළිගත් මහේස්ත්‍රාත්වරිය අදාල දත්ත සටහන් පිටපතක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත නිකුත් කරන නිසා අදාළ සමාගම වෙත නියෝග කළාය.

    මෙම විමර්ශන කටයුතු සඳහා පහසුකම් සැලසීමට පියවර ගන්නා ලෙස මෙහිදී මහේස්ත්‍රාත්වරිය විසින් වෙරළ ආරක්ෂක බලකායේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට සහ වෙළඳ නෞකා කාර්යාලයේ අධ්‍යක්ෂකවරයාට ද වැඩිදුරටත් නියෝග කර සිටියාය.

    ඉන් අනතුරුව පැමිණිල්ල නැවත ලබන 29 වනදා කැඳවීමට නියම කළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය එදින මෙම පරීක්ෂණවල ප්‍රගතිය වාර්ථා කරන ලෙසයි සමුද්‍රය පරිසර ආරක්ෂක අධිකාරියට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළාය.

    Latest News