ජගත් පී විජේවීර මහතා පාස්කු කොමිසමට

සැප් 13, 2020

    මෙරට මුස්ලිම් අන්තවාදීන් අත්අඩංගුවට ගැනීමෙන් අන්තර්ජාතික වශයෙන් හා මැද පෙරදිග රටවලින් බලපෑම් එල්ල වේයැයි සිතා, ආරක්‍ෂක මණ්ඩල රැස්වීම්වලදී, ඒ ගැන රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් සොයා බැලීමට තීරණය කළ බව, නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජගත් පී විජේවීර මහතා ප්‍රකාශ කලේය.

    ඒ, පාස්කු ප්‍රහාරය පිලිබඳ සොයා බලන ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ ඊයේ සාක්‍ෂි ලබාදෙමින්. 2015 නොවැම්බර් මස 11 වැනි දින සිට 2017 වසරේ දෙසැම්බර් 12 වැනිදා දක්වා නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස ජගත් පී විජේවීර මහතා ක්‍රියා කළේය. ජනාධිපති කොමිසම හමුවේ සාක්‍ෂි ලබාදෙමින් විජේවීර මහතා කියා සිටියේ, එවක පැවති ආරක්‍ෂක මණ්ඩල රැස්වීම්වලදී, මුස්ලිම් අන්තවාදය සම්බන්ධයෙන් කරුණු හෙලිදරව් වුවත්, ඊට සම්බන්ධ නැගෙනහිර පළාතේ වෙසෙන මුස්ලිම් ජාතිකයින් අත්අඩංගුවට ගැනීමක් සිදු නොවූ බවයි.

    එහිදී කොමිසමේ සභාපති විනිසුරුවරයා සාක්‍ෂිකරුගෙන් විමසා සිටියේ, මේ සම්බන්ධයෙන් අන්තර්ජාතික බලපෑම්වලට අවධානය යොමු කළත්, දේශීය වශයෙන් වන බලපෑම් සම්බන්ධයෙන් ආරක්‍ෂක මණ්ඩලයේ අවධානය යොමු නොකළේද, යන්නයි. මේ සම්බන්ධයෙන් සුපරීක්‍ෂාකාරීව සිටින ලෙස, හිටපු ජනාධිපතිවරයා සහ හිටපු අගමැතිවරයා ආරක්‍ෂක මණ්ඩලයේ දී සඳහන් කළ බව, සාක්‍ෂි දෙමින් විජේවීර මහතා ප්‍රකාශ කලේය.

    එහිදී රජයේ ජ්‍යෙෂ්ඨ අධි නීතිඥවරයා ප්‍රශ්න කළේ, එවකට ආයුධ සන්නද්ධ කණ්ඩායම් නැගෙනහිර පළාත් සිටියේද යන්නයි. එසේ සිටිය බවත්, පොලිස් ෆායිස් නැමැත්තා සහ අල්වනසාර් කණ්ඩායම එවකට සිටි බව, සාක්‍ෂිකරු ප්‍රකාශ කළේය. එම කණ්ඩායම් මංකොල්ලකෑම්, මිනිමැරීම්, කප්පම්ගැනීම් ඇතුළු ක්‍රියා සිදු කරමින්, එල්ටීටීඊයට විරුද්ධව නැගී සිටින බව, පවසමින් ආයුධ සන්නද්ධව සිටි බවයි, සාක්‍ෂිකරු සඳහන් කලේ.

    එවක සිටි මුස්ලිම් අන්තවාදී සංවිධාන පිළිබඳ කොමිසම ප්‍රශ්න කළ අතර, එහිදී සාක්‍ෂිකරු ප්‍රකාශ කළේ 2008 වර්ෂයේදී පළමු අන්තවාදී කණ්ඩායම ආරම්භ වූ බවත්, එය “ස්ලාමික් සෙන්ටර්“ නමින් හැඳින්වූ බවයි. හිටපු බස්නාහිර පළාත් ආණ්ඩුකාර අලෙවි මවුලානා මහතා මෙම කණ්ඩායම් බිහිවීම වැළැක්වීමට උපදෙස් දුන් බවත්, ඔවුන් සාම්ප්‍රදායික මුස්ලිම් ජනතාවට තර්ජනයක් බවත්, එම කණ්ඩායම් භයානක කොටසක් බවත්, පැවසූ බවයි එඩ්සන් ගුණතිලක මහතා කොමිසම හමුවේ ප්‍රකාශ කළේ.

    තවුහිද් ජමාද් සංවිධාන බිහිවී ඇති අතර, එය රට අල්ලන ක්‍රමයක් බවත්, ඔවුන්ට ඉඩ නොදෙන ලෙසත්, අලෙවි මවුලානා මහතා දුරකතනයෙන් අමතා, ඒ පිලිබඳ සොයා බැලීමට මවුලවිවරුන් පිරිසක් එවූ බවත්, සාක්‍ෂිකරු කියා සිටියේය.

    සහරාන් හෂිම් පිලිබඳව සාක්‍ෂිකරු දැන සිටියේ දැයි කොමිසම එහිදී ප්‍රශ්න කලේය. එසේ දැන නොසිටි බවත්, එක් කණ්ඩායමකට අයත් සාමාජිකයෙකු ලෙස සහරාන්ගේ නම සටහන් යොදා තිබූ අතර, සන්නද්ධ කණ්ඩායම්වල නායකයෙකු ලෙස, හිස්බුල්ලා මහතා කටයුතු කළ බවට ද සටහන් යොදා තිබූ බව හිටපු නැගෙනහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එඩිසන් ගුණතිලක මහතා කොමිසම හමුවේ සාක්‍ෂි ලබා දෙමින් කියා සිටියේය.

    Latest News