ඇලෝසියස්ගේ නීතීඥවරුන්ට අවලාද නැගුවයි චෝදනාවක්  

ජන 10, 2019

    මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් ඇප මත මුදාහැර සිටින පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් මහතා සමග රහස් පොලිසියට වාර්තා කිරීමට ගිය නීතිඥවරු දෙදෙනෙකුට එහි නිළධාරින් විසින් සිදු කළ බව කියන හිරිහැරයක් සම්බන්ධයෙන් අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කළේය.

    මෝසමක් ගොනු කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඉදිරියේ සැකකාර ඇලෝසියස් මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් විසින් මෙම කරුණු දැක්වීම සිදු කරනු ලැබීය. මෙහිදී ඇලෝසියස් මහතාගේ නීතිඥවරු අධිකරණයට දන්වා සිටියේ අධිකරණය විසින් නියම කළ ඇප කොන්දේසියකට අනුව ඉකුත් ඉරිදා තම සේවාදායකයා නීතිවේදීන් දෙදෙනෙකු සමග රහස් පොලිසිය වෙත වාර්තා කිරීමට ගිය බවයි.
    එහිදී රහස් පොලිසියේ නිලධාරීන් විසින් නීතිඥවරුන්ට සැකකාර ඇලෝසියස් මහතා සමඟ අත්සන් කිරීමට යාම සඳහා අවස්ථාව නොදී බාධා කළ බවත් අවඥා සහගත ආකාරයෙන් එම නීතිඥවරුන් දෙදෙනාට එම නිලධාරීන් කතා කොට ඇති බවත් නීතිඥවරු අධිකරණය හමුවේ කරුණු සැලකර සිටියේය.
    මෙහිදී ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය සඳහන් කර සිටියේ පොලිසිය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැනි නීතිය ක්‍රියාත්මක කරන ආයතන වෙත සේවාදායකයින් සමග නීතිඥවරුන්ට යාම සඳහා පවතින අයිතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින්  තහවුරු කර ඇති බවයි. යම් නීතිඥවරයකු සම්බන්ධයෙන් සැකයක් තිබේ නම් ඔහුගේ හැඳුනුම්පත පරීක්ෂා කිරීම සඳහා නිලධාරීන්ට ඉඩකඩ පවතින බව පෙන්වා දුන් මහේස්ත්‍රාත්වරිය ඒ බව තහවුරු කිරීමෙන් පසුව ඔවුන්ගේ සේවාදායකයින්ට සහාය වීම සඳහා ඉඩකඩ ලබාදීමට පියවර ගන්නා ලෙසත් රහස් පොලීසියට දැනුම් දුන්නේය.
    Last modified on බ්‍රහස්පතින්දා, 10 ජනවාරි 2019 18:19

    Latest News