දූෂණ මර්දන ලේකම් කාර්යාලය ගැන පැමිණිල්ලක්

සැප් 25, 2020

    දූෂණ මර්දන ලේකම් කාර්යාලය යනු දේශපාලන විරුද්ධවාදීන්ගෙන් පළි ගැනීමට ස්ථාපනය කළ ආයතනයක් බව එවකට ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ප්‍රධාන ගණකාධිකාරවරයා වූ ඩබ්. විමලසේන මහතා ප්‍රකාශ කරයි.

    ඒ දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බලන ජනාධිපති පරීක්‍ෂණ කොමිසම හමුවේ.

    එවකට මූල්‍ය අපරාධ කොට්ඨාසය මගින් කිසිදු සොයා බැලීමකින් තොරව චෝදනා 7ක් යටතේ විමලසේන මහතාට “බී“ වාර්තාවක් ඉදිරිපත් කර තිබේ. ඒ සම්බන්ධයෙන් විමලසේන මහතා සඳහන් කළේ, තමන් කිසිදු තීරණයක් නොගත් බවත්, තමා කළේ ලබාදුන් තීරණ ක්‍රියාත්මක කිරීම පමණක් බවයි.

    තවද, ඔහු කොමිසම හමුවේ කියා සිටියේ, එවකට ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ, අමාත්‍යවරයාව සිටි බැසිල් රාජපක්‍ෂ මහතා සමඟ තම රාජකාරියට අදාළව සුහදව කටයුතු කළ බැවින් 2015 ආණ්ඩුව රාජපක්‍ෂ හිතවාදීන් ලෙස නම් කරමින් සේවය දීර්ඝ නොකර ඉල්ලා අස්වන ලෙසට ප්‍රකාශ කළ බවයි.

    එවකට ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ දීර්ඝ කාලයක් සේවය කළ බැවින් බොරු චෝදනා මත තමන්ට විවිධ අඩන්තේට්ටම්වලට ලක් වන්නට සිදුවූ බව ද විමලසේන මහතා කොමිසම හමුවේ කියා සිටියේය.

    2015 යහපාලන ආණ්ඩුව බලයට පත් වීමෙන් පසු තමන්ගෙන් පළි ගැනීමට කටයුතු කළ බවත්, එවකට රජයේ පුවත්පත්වල ද තමා සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රවෘත්ති වාර්තා වී තිබූ බව ද ඔහු සඳහන් කළේය.

    Latest News