බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේ 61 වැනි ගුණ සමරුව

සැප් 25, 2020

    ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නිර්මාතෘ එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේ 61 වැනි ගුණ සමරුව හෙටට යෙදී තිබේ.

    ඒ වෙනුවෙන් සංවිධාන කෙරුණු ගුණ සමරු උත්සවයක් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේ දී අද පැවැත්විණ.

    1899 වසරේ ජනවාරි මස 8 වැනිදින උපත ලැබූ බණ්ඩාරනායක මහතා ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබීය. එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය ලැබූ එතුමා, ශ්‍රී ලංකාවට පැමිණියේ බැරිස්ටර්වරයෙකු ලෙසින්. නිදහස් ‍ස්වෛරී රාජ්‍යයක් බිහිකිරීමේ අරමුණින් එතුමා සිංහල මහ සභාව වැනි සංවිධාන ඔස්සේ ක්‍රියාකාරී දේශපාලනයට පිවිසියේය.

    සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු පංච මහා බලවේග ඒකරාශි කළ බණ්ඩාරනායක ශ්‍රීමතාණන් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය පිහිටුවනු ලැබුවේ 1951 සැප්තැම්බර් 2 වැනි දිනයි.

    1956 දී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ප්‍රමුඛ මහජන එක්සත් පෙරමුණු ආණ්ඩුව පිහිට වූ එතුමා, ප්‍රගතිශීලි ක්‍රියාමාර්ග රැසකට මුල පිරුවේය. සිංහල, රාජ්‍ය භාෂාව කිරීම, විද්‍යෝදය හා විද්‍යාලංකාර පිරිවෙන් විශ්වවිද්‍යාල බවට පත් කිරීම, වරාය හා බස් ජනසතු කිරීම, මැයි දින රජයේ නිවාඩු දිනයක් කිරීම සහ සේවක අර්ථසාධක අරමුදල පිහිටුවීම වැනි ජාතික වශයෙන් වැදගත් තීරණ රැසක් ගනු ලැබුවේ බණ්ඩාරනායක මහතා විසින්.

    1959 සැප්තැම්බර් 26 වැනි දින සාහසිකයෙකුගේ වෙඩි පහරින් ඝාතනය වූ බණ්ඩාරනායක ශ්‍රීමතාණන්, සදානුස්මරණ ජන නායකයෙකු ලෙස අදත් ජනතා මතකයේ රැඳී පවතී.

    ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේ අද පැවති ගුණානුස්මරණය උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වූයේ හිටපු ජනාධිපති ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතායි.

    Latest News