ආහාර හා ඖෂධ පරීක්ෂක නිලධාරීන්ට ටැබ් පරිගණක යන්ත්‍ර

දෙසැ 10, 2020

    ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමනය රාජ්‍ය අමාත්‍යාංශය යටතේ ඇති ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ආහාර හා ඖෂධ පරික්ෂණ නිලධාරීන්ට පරිගණක යන්ත්‍ර 47 ක් මහාචාර්ය චන්න ජයසුමන මහතාගේ ප්‍රධානත්වයෙන් එම අධිකාරියේදී බෙදා දෙන ලදී.

    ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සියලුම කාර්යන් හා සේවාවන් වඩාත් විනිවිද භාවයකින් හා වැඩි කාර්යක්ෂමතාවයකින් යුතුව සේවා අපේක්ෂිත ජනතාව වෙත ළඟා කිරීමේ අරමුණින් ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශය යටතේ ඇති ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සේවාවන් ඩිජිටල්කරණයේ ක්‍රිවලිය ආරම්භ කර ඇත. මේ යටතේ ඖෂධ, වෛද්‍ය උපකරණ සඳහා දේශීය නියෝජිතයින් ලියාපදිංචිය ඖෂධ ආනයන බලපත්‍ර නිකුත් කිරීමේ කටයුතු මෙමගින් කාර්යක්ෂමව අනලස්ව ඉටු කිරීමට මෙයින් හැකි වනු ඇත.

    ජාතික ඖෂධ නියාමන අධිකාරියේ එක් ප්‍රධාන ක්‍රියාවලියක් වන ඖෂධ ශාලා බලපත්‍ර ලබා දීමේ ක්‍රියාවලියේදී ඖෂධ ශාලා අතර, පවතින දුර මේ වන විට මැනීමට සිදුව තිබෙන්නේ යතුරුපැදියක ආධාරයෙන් බව පැහැදිළි වූ අතර, මෙම කටයුතු ඉදිරියේදී මඟහරවමින් ඖෂධ නියාමන ක්‍රියාවලිය යාවත්කාලීන කරමින් මෙම ටැබ් යන්ත්‍ර උපයෝගි කරගනිමින් විධිමත්ව කිරීමට පහසු වනු ඇත.

    ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලවලට අනුයුක්ත ආහාර හා ඖෂධ පරික්ෂක නිලධාරීන්ගේ මාධ්‍ය පද්ධතිය සමඟ තොරතුරු හුවමාරුව හා වාර්තා සැපයීම වඩා වේගවත්ව නිවැරැදිව හා විනිවිද භාවයෙන් කටයුතු කිරීමට මෙයින් තවදුරටත් පහසු වනු ඇත.

    මෙම අවස්ථාවට සහභාගි වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ, "අපේ රටේ පොදුවේ ගත්තොත් වෙළදාම් කරන කෙනා තාක්ෂණය උපයෝගි කරගන්නවා. එය නියාමනය කරන කෙනා එය කරන්නනේ පරක්කු වෙලා. මෙම අසමතුලිතතාවය නිසා තමයි දූෂණය වංචාව ඉහවහලා ගිහිල්ලා තියෙන්නේ. බටහිර රටවල් තාක්ෂණය නිෂ්පාදකයාට ව්‍යාපාරිකයාට ලැබෙනවා හා සමානව සමඟාමීව නියාමනය කරන කෙනාටත් ලැබෙනවා. සමතුලිතභාවයකින් තමයි ඉදිරියට යන්නේ."

    "අපේ රටේ නියාමනය කරන අය ඉන්නේ 80, 90 දශකයේ. එතකොට ව්‍යාපාරිකයෝ නවීන තාක්ෂණයත් එක්ක ඉන්නවා. නවීන තාක්ෂණය සමඟ රටේ ජනතාවගේ සුභ සිද්ධිය සඳහා අතිගරු ජනාධිපතිතුමාගේ “සෞභාග්‍යයේ දැක්ම”ට සමගාමීව ජනතාවට ලැබිය යුතු යුතුකම් නොපිරිහෙලා ඉටු කිරීමට ඔබ රාජ්‍ය නිලධාරීන් හැටියට කටයුතු කළ යුතු" යැයි රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කරන ලදී.

    මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ඖෂධ නිෂෟපාදනය, සැපයීම හා නියාමනය රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති මහාචාර්ය අසිත ද සිල්වා, අධ්‍යක්ෂ ජනරාල් හා ප්‍රධාන විධායක නිලධාරි විශේෂඥ වෛද්‍ය කමල් ජයසිංහ මහතා ඇතුළු පිරිසක් සහභාගි විය.

    Latest News