නව තාක්ෂණයෙන් හා දැනුමෙන් සපිරි පොලිසියක් ;ජනපති

ජන 21, 2019

    පොලිස් දෙපාර්තමේන්තුව උගතුන්ගෙන් පිරි වෘත්තිකයන්ගේ සේවාවක් කිරීමට විෂය භාර අමාත්‍යවරයා ලෙස පියවර ගන්නා බව ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

    ජනාධිපතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ අද(21) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ පැවති ජාතික පොලිස් අභ්‍යාස ආයතනයේ ඩිප්ලෝමා සහතික ප‍්‍රදානෝත්සවය අමතමිනි.

    ජාතික පොලිස් ඇකඩමිය උපාධි මට්ටමට ගෙන ආ යුතු අතර පොලිස් දෙපාර්තමේන්තුව ශක්තිමත් කිරීමට හා එහි ගුණාත්මකභාවය ඉහළ නංවමින් උසස් ප‍්‍රමිතියක් ඇති කිරීමට පසුගිය කාලය තුළ අතපසු වී ඇති බව ද මෙහිදී ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේය.

    තමා පොලිස් දෙපාර්තමේන්තුව භාරගෙන මාස දෙකක් වැනි කෙටි කාලයක් තුළ එය ශක්තිමත් කිරීමට අවශ්‍ය නීති සංශෝධන රැසක් මේ වන විට සිදුකර තිබෙන අතර, තවදුරටත් නව නීති සම්පාදනය නීතිපතිවරයා විසින් මේ වන විට සිදුකරමින් සිටින බව ද කියා සිටියේය.

    මානව හිමිකම්වලට මුවා වී අපරාධ මර්ධනයේ දී සහ බරපතළ අපරාධකරුවන් පිළිබඳව කටයුතු කිරීමේ දී ඇතැම් පිරිස් ඊට එරෙහිව කඩුව ඔසවන අතර පාතාලය මර්ධනය, අපරාධ මර්ධනය, මත්ද්‍රව්‍ය මැඩලීමට හෝ ස්ත‍්‍රී දූෂණ, ළමා අපචාර ඇතුළු නීතිවිරෝධි ක්‍රියාවන් වැළැක්වීමට ඔවුන් සිය හඬ අවධි නොකරන බව පෙන්වා දුන් ජනාධිපතිතුමා තමාට ඉදිරි මැතිවරණවලදී කෙතරම් අවාසි වුව ද රටත්, ජනතාවත් වෙනුවෙන් ගතයුතු තීන්දු තීරණ කිසිසේත් අතපසු නොකරන බව ද අවධාරණය කළේය.

    එමෙන්ම ජනාධිපතිතුමා මෙහිදී සඳහන් කළේ ජීවිත පරිත්‍යාගයෙන් රට සහ ජනතාව වෙනුවෙන් සිය වගකීම් ඉටුකරන පොලිස් සේවාව සඳහා ලබාදිය යුතු ඉහළම වටිනාකම ලබාදීමට කටයුතු කරන බවයි.

    පොලිස් දෙපාර්තමේන්තුවේ සාමාජිකයන්ගේ සුබසාධන කටයුතු ඉහළ නැංවීමට පොලිස් දෙපාර්තමේන්තුව, පොලිස් කොමිසම, සහ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශය එක්ව කඩිනමින් ක්‍රියාවට නැංවිය යුතු බව ද ජනාධිපතිතුමා මෙහිදී සඳහන් කළේය.

    ජාතික පොලිස් අභ්‍යාස ආයතනයේ ප‍්‍රථම ඩිප්ලෝමා ප‍්‍රදානෝත්සවය වන මෙහි දී පාඨමාලාව සාර්ථකව අවසන් කළ පොලිසියේ සාමාජිකයන් 264 දෙනෙකු වෙත ඩිප්ලෝමා හා උසස් ඩිප්ලෝමා ප‍්‍රදානය කිරීම මෙහිදී සිදු විය.

    පොලිස්පති, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු සහ විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    Last modified on සදුදා, 21 ජනවාරි 2019 22:28

    Latest News