සේනාට වන්දි ගෙවන්න මිලියන 250ක්

ජන 22, 2019

    සේනා දළඹුවාගෙන් සිදුවන සම්පුර්ණ වගා හානි පූරණයට රුපියල් මිලියන 250ක් වෙන් කිරීමට රජය පියවර ගෙන තිබෙනවා.

    අද උදේ පැවති අමාත්‍ය මණ්ඩල හමුවේදී ඊට අනුමැතිය හිමිවුණා. අමාත්‍ය පී හැරිසන් මහතා පවසන්නේ, එම මුදල අවශ්‍යතාවය අනුව වැඩි කිරීමට නියමිත බවයි.
    මේ වනවිට සියලුම දිස්ත්‍රික්කවල සේනා දළඹුවා ව්‍යාප්තවී ඇති බව, කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා. ඉන් වැඩිම හානියක් සිදුව ඇත්තේ, අනුරාධපුර, කුරුණෑගල, මොනරාගල සහ අම්පාර යන දිස්ත්‍රික්කවලටයි.

    සේනා දළඹුවාට සුළඟේ ආධාරයෙන් එක් රැයකදී කිලෝමීටර 100ක පමණ දුර ගමන් කළ හැකියි. ඉකුත් වසරේ සැප්තැම්බර් මස මෙරටට පැමිණි සේනා දළඹුවා මුල් කාලයේදී මර්දනය කිරීමට හැකිවී තිබෙනවා.

    සේනා දළඹුවා වැඩි රුච්කත්වයක් දක්වන්නේ බඩඉරිඟු ආහාරයට ගැනීමටයි. එසේ වුවද කුරක්කන්, මෑකරල්, බෝංචි වැනි එළවළු වර්ග ඇතුළු ශාක 80කට පමණ හානි කිරීමේ හැකියාව සේනා දළඹුවා සතුයි. දළඹුවන් මර්දනය හා පාලනය කිරීම සඳහා මෙරට පරිහරණය කෙරෙන කෘමිනාශක 05ක් නිර්දේශ කිරීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් පියවර ගනු ලැබුවා.

    කෘමිනාශක සඳහා ගොවීන්ට 50%ක සහනාධාරයක් ලබාදීමට ද රජය පියවර ගෙන තිබෙනවා. අනුරාධපුරය සහ කුඹුක්ගැටේ යන ප්‍රදේශයන්හිදී සිදු කෙරුණු පර්යේෂණයට එම කෘමිනාශක යොදා ගැනුණු අතර, එය සාර්ථක වූ බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා.

    සේනා දළඹු උවදුර මර්දනය සඳහා ජනාධිපතිතුමාගේ සහ අග්‍රාමාත්‍යතුමාගේ උපදෙස් පරිදි දැනටමත් රුපියල් මිලියන 118ක මුදලක් යොදවා තිබෙනවා. අමාත්‍ය පී හැරිසන් මහතා ප්‍රකාශ කළේ අක්කරයකට උපරිමය රුපියල් 40,000ක් වන පරිදි වගා හානි වන්දි ලබාදීමට පියවර ගෙන ඇති බවයි.

    දිවයිනේ හෙක්ටයාර 82,000ක පමණ බඩ ඉරිඟු වගා කර ඇති අතර හෙක්ටයාර 45,000කට පමණ සේනා දළඹු උවදුර ව්‍යාප්ත වී ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පෙන්වා දෙනවා.

    එම නිසා මෙම කන්නයේ දී බඩ ඉරිඟු වගා අස්වැන්න සියයට 20කින් අඩුවිය හැකි බව කෘෂිකර්ම අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය ඩබ්.එම්.ඩබ්.වීරකෝන් මහතා සඳහන් කළා.

    Last modified on අඟහරුවාදා, 22 ජනවාරි 2019 19:26

    Latest News