කිරි ගොවි ණය මුදල රු.ලක්ෂ 10ක් දක්වා වැඩිකිරීමට අගමැතිතුමාගෙන් උපදෙස් (වීඩියෝ)

පෙබ 08, 2021
  • කිරි ගොවින් සඳහා අය-වැයෙන් යෝජනා කළ රුපියල් ලක්ෂ 5ක ණය මුදල රුපියල් ලක්ෂ 10ක් දක්වා වැඩි කරන්නැයි මුදල් අමාතවරයා වශයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (08) දින උපදෙස් දුන්නේය.

    අය-වැය යෝජනා අනුව ක්‍රියාත්මක ව්‍යාපෘති හා ජනතා සහන පිළිබඳ අවධානය යොමු කරමින් මුදල් අමාත්‍යාංශයේ පැවැති ප්‍රගති සමාලෝචන රැස්වීමේ දී අගමැතිතුමා මේ බව අවධාරණය කළේය.

    ඒ අනුව ඉදිරි සතියේ සිට කිරි ගොවීන් සඳහා ඔවුන්ගේ යටිතල පහසුකම් සංවර්ධනය කරගැනීමට 4% පොලියට රුපියල් ලක්ෂ දහයක් දක්වා ණය ලබාගැනීමට අවස්ථාව උදාවනු ඇත.

    අය-වැය යෝජනා අනුව දැනට ක්‍රියාත්මක ණය සහන සම්බන්ධයෙන් මෙම හමුවේදී මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර්.ආටිගල මහතා පැහැදිලි කළේය.

    ඒ අනුව රජයේ සේවකයන්ට දෙනු ලබන නිවාස ණය ලබාගත් හා ලබාගන්නා ණය මුදල 7% පොලී අනුපාතය යටතේ ක්‍රියාත්මක වේ.

    මෙම සහනය මත රජයේ සේවකයකුගේ මාසික වැටුප් වැඩිවීම රු.2500-3000ක් අතර වන බව එස්.ආර්.ආටිගල මහතා පෙන්වා දුන්නේය.

    රජයේ සහ රජයේ නොවන සේවකයන් වෙනුවෙන් විදුලි සූර්ය පැනල සිය වහලයට සවි කිරීම සඳහා දැනට 4% පොලී අනුපාතයට රුපියල් ලක්ෂ 08ක් දක්වා ණය මුදල් ලබා දීම සිදු වේ.

    මෙම කන්නයේ වී මිල දී ගැනීම සඳහා සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ට ණය පහසුකම් ලබාදිය යුතු බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා මෙහිදී පෙන්වා දුන්නේය.

    ඒ අනුව වී මිලදී ගැනීම සඳහා අවශ්‍ය ණය ලබාදීමේ කටයුතු කඩිනම් කරන්නැයි අග්‍රාමාත්‍යවරයා මෙහි දී උපදෙස් දුන්නේය.

    එමගින් බීර නිෂ්පාදනය වැනි අතුරු නිෂ්පාදන සඳහා මහා පරිමාණ වශයෙන් වී මිලදී ගැනීම සීමා කළ හැකි බව අගමැතිවරයා පැවැසීය.

    නාගරික සංවර්ධන අධිකාරිය සමඟ ක්‍රියාත්මක මධ්‍යම ප්‍රා න්තික නිවාස යෝජනා ක්‍රම සඳහා 6.25% පොලියට ණය පහසුකම් ලබාදීම ආරම්භ වී තිබේ.

    විදුලිය ලබාගැනීම ඇතුලු සමෘද්ධි සමාජිකයන් වෙනුවෙන් පිරිනමන සහන ණය මුදල් කඩිනමින් ලබා දීම පිළිබඳවද මෙහිදී අග්‍රාමාත්‍යතුමාගේ අවධානය යොමු විය.

    විදේශ ණය සඳහා යොමු වීම වෙනුවට විදේශ ආයෝජන සම්බන්ධයෙන් රජය මේ වනවිට වැඩි අවධානයක් යොමු කර ඇතැයි මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්. ආටිගල මහතා මෙහිදී පෙන්වා දුන්නේය. එය අඛණ්ඩව පවත්වාගෙන යාමේ වැදගත්කම පිළිබඳව හෙතම අවධාරණය කළේය.

    ශ්‍රී ලංකා රේගුවේ ආනයන අංශය ඔන්ලයින් තාක්ෂණයෙන් ක්‍රියාත්මක වන බව පෙන්වා දුන් රේගු අධ්‍යක්ෂ ජනරාල් ජී.වී රවිප්‍රිය මහතා එමඟින් ගැටලු අවම කර ගැනීමට උපකාර වූ බව පෙන්වා දුන්නේය. එමෙන්ම දිනකට රේගුවට පැමිණෙන වාප්පු ලිපිකරුවන් සංඛ්‍යාව 60%කින් පමණ අඩුකර ගැනීමට එය උපකාරි වූ බව කියා සිටියේය.

    මේ අතර දේශීය අදායම් දෙපාර්තමේන්තුවට ඔන්ලයින් ක්‍රමයට බදු ගෙවීම අද දිනයේ සිට ක්‍රියාත්මක අතර ඊට බැංකු 05ක එකඟත්වය හිමි වූ බව ද එම නිලධාරීන් අග්‍රාමාත්‍යවරයාට දැනුම් දුන්නේය.

    බැංකුවලට ණය මුදල් හා ලීසිං මුදල් කලින් පියවීමේදී 3%ක ගාස්තුවක් ගෙවීමට සිදුවීම පිළිබඳව අවධානය යොමු කළ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා එම ගෙවීම සම්පූර්ණයෙන්ම නතර කළ යුතු යැයි මෙහිදී යෝජනා කළේය.

    මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍යවරුන්වන අජිත් නිවාඩ් කබ්රාල්, ශෙහාන් සේමසිංහ, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත්, මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර් අටිගල මහත්වරු ඇතුළු මුදල් අමාත්‍යාංශයේ සියලුම ආයතන ප්‍රධානීන් ඇතුලු නිලධාරීන් රැසක් එක්ව සිටියහ.

    Last modified on අඟහරුවාදා, 09 පෙබරවාරි 2021 00:15

    Latest News