"උතුරු-දකුණු සන්නිවේදන ගැටලුවට විසඳුම භාෂා අධ්‍යාපනයයි" - ජී.එල්.පීරිස්

පෙබ 10, 2021

    සිංහල - දෙමළ අය අතර සන්නිවේදනය නිසි ලෙස සිදු කරගැනීමට නම් දකුණේ අය දෙමළ ඉගෙන ගන්නා අතර උතුරේ ජනතාවට ද සිංහල භාෂාව ඉගැන්විය යුතු බවත්, සිංහල භාෂාව ඉගෙන ගැනීමට උතුරේ පාසල් දරුවන් බොහොම කැමැත්තෙන් සිටින බවත්, ඒ කටයුත්ත පාසල් මට්ටමින් ඉටු කිරීමට අපේ රජය කටයුතු කරන බවත්,අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පවසයි.

    අමාත්‍යවරයා මේ බව පැවසූයේ, අනුරාධපුර ලංකාරාමාධිපති අතිපූජ්‍ය රළපනාවේ ධම්මජෝති හිමියන් බැහැදැක ආශීර්වාද ලබා ගැනීමෙන් අනතුරුව යි.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා..

    “වියලි කලාපයේ කෘෂිකර්ම සංවර්ධනයට අදාළ සියලුම අංශයන්ගෙන් සමන්විත අංගසම්පූර්ණ කෘෂිකර්ම පීඨ ගොඩනැඟිල්ලක් ජපන් රජයේ ආධාර යටතේ අපට ලැබුණා. විශේෂයෙන් ම අලෙවිකරණය, නිෂ්පාදන වර්ධනය ආදියට ප්‍රමුඛතාව දෙමින් එහි කටයුතු ක්‍රියාත්මක කරන්නට අපි සැලසුම් සකස් කරලා තිබෙනවා. උතුරු පළාතේ ජනතාවගේ අධ්‍යාපනය, කෘෂිකර්මාන්තය සහ ධීවර කර්මාන්තය නඟා සිටුවීම සඳහා අපේ රජය මේ වනවිට සැලසුම් සකස් කොට ක්‍රියාත්මක කරමින් පවතිනවා” 

    මෙම සංචාරයේ දී අධ්‍යාපනය සම්බන්ධව විශේෂයෙන් සොයා බලන්නට තමාට හැකි වූ බවත්, උතුරු පළාතේ සියලුම අධ්‍යාපන ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මුණගැසී, ඒ ඒ පාසල්වල පවතින ගුරු හිඟය, ගුරු පුහුණු අවශ්‍යතා, ජාතික පාසල් හඳුනා ගැනීම, ආදී පොදු ගැටලු පිළිබඳ තොරතුරු ලබාගනිමින් මේ පිළිබඳ කටයුතු කරන ආකාරය සම්බන්ධව සති දෙකෙන් දෙකට වාර්තා කැඳවමින් පසුවිපරම් කරන්නට කටයුතු කරන බව ද අමාත්‍යවරයා සඳහන් ක‍ළේය.

    “සිංහල-දෙමළ ජාතීන් අතර තිබෙන භාෂා ගැටලුව අපි ඉක්මණින් විසඳිය යුත්තක්. සිංහල භාෂාව ඉගෙන ගන්නට දමිළ දරුවන් බොහොමයක් උනන්දුයි. ඔවුන්ට ඒ පහසුකම් ලබාදීමට අපි බලාපොරොත්තු වෙනවා. ඒ තුළින් අනෙකා හඳුනා ගැනීමට ඔවුනොවුන්ට හැකියාව ලැබෙනවා.” යනුවෙන් ද අමාත්‍යවරයා පැවසී ය.

    Latest News