ශ්‍රී ලංකාව සහ ඕමාන සුල්තාන් රාජ්‍යය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවට වසර 40 ක්

පෙබ 18, 2021

    2021 පෙබරවාරි 17 වැනි දින ශ්‍රී ලංකාව සහ ඕමාන සුල්තාන් රාජ්‍යය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පිළිබඳ 40 වැනි සංවත්සරය සැමරීම වෙනුවෙන් ඕමාන සුල්තාන් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති ඕමාර් ලෙබ්බෙ අමීර් අජ්වාඩ් මැතිතුමා පණිවුඩයක් නිකුත් කරයි.

    දශක හතරක් තුළ පැවති ද්වීපාර්ශ්වික සබඳතා තුළින් දෙරටේ සහයෝගිතාවය පුළුල් ආර්ථික විවිධාංගීකරණයක් කරා එළඹ සිටින බව ඕමානය හා ශ්‍රී ලංකාව අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා සඳහා වසර 40 ක් පිරීම නිමිත්තෙන් පැවති රැස්වීමක දී ඕමානයේ ශ්‍රී ලංකා තානාපතිවරයා සඳහන් කළේය.

    ශ්‍රී ලංකාව සහ ඕමාන සුල්තාන් රාජ්‍යය, දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිහිටුවීම පිළිබඳ 40 වැනි සංවත්සරය සමරයි. මෙම වැදගත් අවස්ථාව සනිටුහන් කරමින් ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමා සහ ඕමාන් සුල්තාන් රාජ්‍යයේ විදේශ අමාත්‍ය සයීඩ් බද්ර් බින් හමාඩ් අල් බුසයිඩි මැතිතුමා දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතාවල මෙම වැදගත් අවස්ථාව පිළිබඳව සුබපැතුම් පණිවිඩ හුවමාරු කර ගෙන තිබේ.

    මෙම වැදගත් අවස්ථාව සැමරීම සඳහා, අද දින මස්කට් හි ඕමාන් සුල්තාන් රාජ්‍යයේ විදේශ අමාත්‍යංශය විසින් අනුස්මරණ “ලාංඡනයක්” එළිදැක්වීම සඳහා විශේෂ උත්සවයක් සංවිධානය කර තිබේ. මෙම විශේෂ අවස්ථාවට සමගාමීව රාජ්‍යතාන්ත්‍රික, විශේෂ, සේවා සහ නිල විදේශ ගමන් බලපත්‍ර දරන්නන් සඳහා වීසා අවශ්‍යතා අන්‍යෝන්‍ය වශයෙන් නිදහස් කිරීම පිළිබඳ ගිවිසුමකට අත්සන් තබනු ලැබේ. මෙම ඓතිහාසික අවස්ථාව සැමරීම සඳහා මස්කට් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වසර පුරා විවිධ අංග ගණනාවක් සංවිධානය කරයි.

    ශ්‍රී ලංකාව සහ ඕමාන සුල්තාන් රාජ්‍යය දිගු කලක් තිස්සේ දෙරට අතර ඓතිහාසික හා පුද්ගලාන්තර සබඳතා භුක්ති විඳිති. 1981 දී දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිහිටුවා ගැනීම සහ 1987 සහ 2013 දී පිළිවෙලින් මස්කට් හි දී සහ කොළඹ දී ශ්‍රී ලංකා සහ ඕමාන නේවාසික රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩල විවෘත කිරීමත් සමඟ, දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා අඛණ්ඩව වර්ධනය වෙමින් පසුගිය දශක හතර තුළ සැලකිය යුතු සන්ධිස්ථාන කරා ළඟා විය.

    දෙරට අතර පළමු ද්වීපාර්ශ්වික සබඳතාවය ආරම්භ වූයේ හිටපු විදේශ අමාත්‍ය දිවංගත ලක්ෂ්මන් කදිර්ගාමර් මැතිතුමා 1996 දී ඕමාන සුල්තාන් රාජ්‍යයේ නිරත වූ සංචාරය තුළිණි. මෙම සංචාරය මඟින් 1997 දී අභාවප්‍රාප්ත සුල්තාන් කබූස් රජතුමාගේ පෞද්ගලික නියෝජිත සයීඩ් තුවානි බින් ෂිහාබ් අල් සයිඩ් උතුමාණන්ගේ නායකත්වයෙන් යුත් ඕමාන් සුල්තාන් රාජ්‍යයේ ඉහළ පෙළේ නියෝජිත කණ්ඩායමකගේ නිල සංචාරයක් සඳහා මඟ සැලසිණ. එවකට ඕමානයේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ මහලේකම්වරයා ලෙස කටයුතු කළ සුල්තාන් හයිතම් බින් තාරික් උතුමාණන් ද ඉහළ පෙළේ නියෝජිත පිරිසක් සමඟ ශ්‍රී ලංකාවේ සංචාරයක යෙදුණි.

    දෙරටේ විදේශ කටයුතු අමාත්‍යාංශ අතර අත්සන් තබන ලද ද්විපාර්ශ්වික දේශපාලන උපදේශනය පිළිබඳ වැදගත් අවබෝධතා ගිවිසුමක්, දෙරට අතර බහු පාර්ශ්වීය ක්ෂේත්‍රයන්හි වර්ධනය වන ද්විපාර්ශ්වික සහයෝගීතාවය සඳහා උත්ප්‍රේරකයක් ලෙස කටයුතු කරයි.

    ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව සහ ඕමානයේ ෂුරා කවුන්සිලය අතර ශ්‍රී ලංකා - ඕමාන් පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය පිහිටුවීම මඟින් දෙරට අතර ඉහළ මට්ටමේ සංචාර හුවමාරු කර ගැනීම සඳහා මඟ පෑදීය.

    අතිගරු ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ “සෞභාග්‍යයේ දැක්ම” සහ සුල්තාන් සුතාන් හයිතම් බින් තාරික් උතුමාණන් විසින් නිර්මාණය කරන ලද ඕමානයේ දැක්ම 2040, ශ්‍රී ලංකාව සහ ඕමානයේ සුල්තාන් රාජ්‍යය අතර සබඳතා පිළිබඳ ද්විපාර්ශ්වික ඉතිහාසයේ තවත් සන්ධිස්ථානයක් ළඟා කර ගැනීමේ අරමුණින් යුතුව එම දිශාවට ගමන් කිරීම සඳහා වන පැහැදිලි මාර්ග සිතියම් වේ.

    Latest News