මුතුරාජවෙල තෙත්බිම් කලාපය තුල සිදුවන නීති විරෝධී ඉදිකිරීම් හා සංවර්ධන කටයුතු අත් හිටුවීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් සහ පරිසර යුක්ති කේන්ද්‍රය විසින් ඉදිරිපත් කර තිබූ පෙත්සම් අද කැඳවූ අවස්ථාවේදී අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර සහ මායාදුන්නේ කොරයා යන විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය කෙරුණා.
මෙම පෙත්සම් අද කැදවනු ලැබූ අවස්ථාවේදී එය සලකා බැලීම සඳහා මාර්තු මස 30 වනදා කැඳවන ලෙසද විනිසුරු මඬුල්ල නියම කළා.
මෙම පෙත්සම අද කැඳවූ ලැබූ අවස්ථාවේදී කාදිනල් හිමිපාණන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශමිල් පෙරේරා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මුතුරාජවෙල සංරක්ෂිත වනාන්තර කලාපය තුළ නීති විරෝධී ලෙස එළිපෙහෙළි කිරීම් හා සංවර්ධන කටයුතු අඛණ්ඩව සිදු වෙමින් පවතින බව සඳහන් කළා.
එම නිසා එම කටයුතු වැළැක්වීමේ තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසද ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.
එම අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් ප්‍රියන්ත නාවාන මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මුතුරාජවෙල සංරක්ෂිත කලාපය තුළට කැලි කසල බැහැර කිරීම වළක්වාලමින් 2017 වසරේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තහනම් නියෝගයක් නිකුත් කළ බවත් එම තහනම් නියෝගය වර්තමානයේත් බලපැවැත්වෙන බව සඳහන් කළා.
මෙහි දී කාදිනල් හිමිපාණන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ චමිල් පෙරේරා මහතා පෙන්වා දුන්නේ එම තහනම් නියෝගය තුළින් කැලිකසල බැහැර කිරීම පමණක් තහනම් කෙරෙන අතර නීති විරෝධී ලෙස ඉදිකිරීම් හා සංවර්ධන කටයුතු අදාල කලාපය තුළ සිදුවෙමින් පවතින බව පෙන්වා දුන්නා.
මෙහිදී අභියාචනාධිකරණ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර මහතා අතිරේක සොලිසිටර් ජෙනරාල් ප්‍රියන්ත නාවාන මහතාට දැනුම් දුන්නේ මුතුරාජවෙල සංරක්ෂිත ප්‍රදේශය තුළ වර්තමාන තත්ත්වය පිළිබඳව සොයා බලා ලබන 09 වනදා අධිකරණය දැනුවත් කිරීමට පියවර ගන්නා ලෙසයි.
ඉන් අනතුරුව පෙත්සම් සලකා බැලීම මාර්තු මස 30 වන දා සිදු කරන බවත් විනිසුරු මඩුල්ල නියම කළා.
මෙම පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස මධ්‍යම පරිසර අධිකාරිය, පරිසර අමාත්‍යවරයා, වන ජීවි හා වන සංරක්ෂණ අමාත්‍යවරයා, වනජීවී දෙර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල්වරයා, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල්වරයා සහ මීගමුව, වත්තල හා ජා ඇල ප්‍රදේශවල ප්‍රාදේශීය ලේකම්වරු නම් කර තිබෙනවා.
පෙත්සම්කරුවන් කියා සිටින්නේ මුතුරාජවෙල තෙත්බිම් කලාපය තුළ නීති විරෝධී හා අනවසර ඉදිකිරීම් රාශියක් සිදු වෙමින් පවතින බවයි.
ඊට අමතරව අදාල කලාපයේ ඉඩම් ගොඩ කිරීමේ කටයුතුද සිදු වන බව පෙන්වා දෙන ඔවුන් කොළඹ නගරය සහ අවට ප්‍රදේශවල සිට රැගෙන එන කැලිකසල බැහැර කිරීම නිසා විශාල පාරිසරික දූෂණයක් සිදු වන බව ද පෙන්වා දෙනවා.
ඊට අමතරව කර්මාන්තශාලාවලින් බැහැර කරන අපද්‍රව්‍ය ද මුතුරාජවෙල කලාපය තුළට මුදාහැරීම නිසා එම පාරිසරික හානිය දැඩි ලෙස උත්සන්න වී තිබෙන බවද පෙත්සමෙන් චෝදනා කර තිබෙනවා.
මේ හේතුවෙන් සංරක්ෂිත කලාපයක් වශයෙන් නම් කර තිබෙන මුතුරාජවෙල තෙත් බිම් ප්‍රදේශය තුළ සිදු කෙරෙන නීති විරෝධී අනවසර ඉදිකිරීම්, ගොඩකිරිම් හා කැළිකසළ බැහැර කිරීම් තහනම් කිරීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම්කරුවන් අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.
ඊට අමතරව මුතුරාජවෙල තෙත්බිම් කලාපය යළි මිණුම් ගත කොට එහි මායිම් අලුතින් නිර්නය කරන ලෙස වගඋත්තරකරුවන් වෙත නියෝග නිකුත් කරන ලෙසත් රටේ තෙත්බිම් ආරක්ෂා කිරීමේ "ජාතික තෙත් බිම් ප්‍රතිපත්තියක්" සකස් කරන ලෙස වගඋත්තරකරුවන් වෙත නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවන් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා.