අභියාචනාධිකරණය, මුතුරාජවෙල මායිම් ලකුණු කිරීම ගැන වාර්තාවක් ඉල්ලයි

ජන 13, 2022

    මුතුරාජවෙල අභය භූමියේ මායිම් ලකුණු කිරීමේ කටයුතුවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස වන ජීවී අධ්‍යක්ෂ ජෙනරාල් වරයාට අභියාචනාධිකරණය නියම කළා.

    එම කටයුතු කිරීමේදු ඇතිවන අපහසුතා හෝ බාධා තිබේ නම් ඒ පිළිබඳවද එම වාර්තාව මගින් දැනුම් දෙන ලෙසද නියෝගයේ සඳහන් වුණා.

    කාදිනල් අතිඋතුම් මැල්කම් රංජිත් හිමිපාණන් සහ පරිසර යුක්ති කේන්ද්‍රය විසින් ඉදිරිපත් කළ පෙත්සමක් අද සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී එම නියෝග නිකුත් කෙරුණා.

    අනතුරුව පෙත්සම ලබන මාර්තු මස 04වැනිදා නැවත කැඳවීමට නියම වුණා.

    පෙත්සම්කරුවන් කියා සිටින්නේ මෑතකදී පෞද්ගලික සමාගමක් මෙම තෙත්බිමේ අක්කර 50 ක් නීතිවිරෝධී ලෙස පස් පිරවීම සදහා ලබා ගෙන ඇතැයි දැනගන්නට ලැබී ඇති අතර මෙම තත්වය දිගටම පැවතුණහොත් මෙම පරිසර පද්ධතිය සම්පූර්ණයෙන්ම විනාශ වීමේ තත්ත්වයක් උද්ගත වන බවයි.

    එබැවින් මුතුරාජවෙළ වගුරු ආශ්‍රිත බිම් පිරවීම සදහා සහ අපද්‍රව්‍ය දැමීම වළකාලන තහනම් නියෝගයක් වගඋත්තරකරුවන්ට නිකුත් කරන ලෙසත් පෙත්සමෙන් ඉල්ලා තිබෙනවා.

    මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස මධ්‍යම පරිසර අධිකාරිය, පරිසර අමාත්‍ය මහින්ද අමරවීර, වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍ය සී.බී.රත්නායක, වන සංරක්ෂණ දෙපාර්තමේන්තු අධ්‍යක්ෂක ජනරාල් චන්දන සූරියබණ්බාර, වන ජීවී අධ්‍යක්ෂක ඩබ්ලිව්.ඒ.සී වේරගොඩ, ගොවිජන සේවා දෙපාර්තමේන්තු අධ්‍යක්ෂක රෝහණ රාජපක්ෂ, පොලිස්පති සී.ඩී වික්‍රමරත්න, වත්තල, මීගමුව, හා ජා ඇළ ප්‍රාදේශීය ලේකම්වරුන්, නීතිපති ඇතුළු 12 දෙනෙකු නම් කර තිබෙනවා.

    Latest News