සුමති සම්මාන උළෙලේ නිර්දේශිත නාම අතරට ජාතික නාලිකාවෙන් ශිල්පීන් 39ක්

මාර් 11, 2021

    25 වැනි සුමති සම්මාන උළෙලේ නිර්දේශිත නාම අතරට ජාතික රූපවාහිනියෙන් විකාශය වූ නිර්මාණ සඳහා ශිල්පීන් 39ක් නිර්දේශ වී තිබේ.

    නිර්දේශිත නාම එළි දැක්වීම අද කොළඹ දී සිදු කෙරිණ. ප්‍රධාන ඉසව් 25ක් යටතේ නිර්මාණ ශිල්පීන් 73 දෙනෙකු සම්මාන සඳහා නිර්දේශ වී තිබේ. “පුංචි තිරයේ මහා කලා මංගල්‍යය“ ලෙස හඳුන්වනු ලබන මෙම සම්මාන උළෙලෙන් රූපවාහිනී ක්‍ෂේත්‍රයේ නියැලෙස සෑම නිර්මාණකරුවෙකුම ඇගැයීමට ලක් කෙරේ.

    කොවිඩ් වසංගතය හේතුවෙන් 2020 වසරේ පැවැත්වීමට නියමිතව තිබූ සම්මාන උළෙල කල් දැමීමට සිදුවිය. සෞඛ්‍ය උපදෙස් නිසියාකාරව පිළිපදිමින් සම්මාන උළෙල ලබන 26 කොළඹ දී පැවැත්වීමට සියලු කටයුතු සංවිධාන කර තිබේ.

    සුමති වෙන්චර්ස් පෞද්ගලික සමාගම, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සම්බන්ධතා සැපයුම්කරු වන ඩයලොග් ආසියාටා සමාගමත්, නේචර්ස් බියුටි ක්‍රියේෂන්ස් සමාගමත් එක්වන අතර, නිල විද්‍යුත් මාධ්‍ය අනුග්‍රහය දක්වන්නේ ජාතික රූපවාහිනියයි.

    සම්මාන සඳහා ශ්‍රී ලංකාවේ සියළුම රූපවාහිනි නාලිකාවල 2019 වසරේ ජනවාරි මස පළමු වැනිදා සිට දෙසැම්බර් 31 දක්වා විකාශය වූ ටෙලි නාට්‍ය නිර්මාණ හා වැඩසටහන් සළකා බැලේ.

    ජනප්‍රිය සම්මාන සඳහා පසුගිය වසරේ විකාශනය අවසන් වූ සහ මේ දිනවල සියළුම නාලිකාවල විකාශය වන ටෙලි නාට්‍ය අතරින් යෝජිත නාමයන් ඇතුළත් කර තිබේ.

    Latest News