2019 අයවැයේ මුලික අරමුණ මෙන්න !

ඔක් 25, 2018

    රට තුල ඇති අසමානතාවය අවම කර 2019 වසර සඳහා 'සංවේදී සංවර්ධන අයවැයක්' ඉදිරිපත් කිරීමට රජය තීරණය කර ඇතැයි වාර්තා වේ.

    පසුගිය සමයේ පටු දේශපාලන වාසි තකා රටපුරා ඇතැම් දැවැන්ත සංවර්ධන යෝජනා ක්‍රියාත්මක වුවද මෙරටේ ලක්ෂ දහයකට වැඩි පිරිසකට වැසිකිලි පහසුකම් පවා නොමැති අතර මෙවැනි අසමානතා අවම කර පොදු ජනතා ගැටලුවලට සංවේදී අයවැය යෝජනාවලියක් මෙවර ඉදිරිපත් කිරීමට රජය තීරණය කර ඇත.

    පසුගිය රාජපක්ෂ පාලන සමයේ වසර 09ක් තුලදී හම්බන්තොට දිස්ත්‍රීක්කයේ මහ මාර්ග ඉඳිකිරීම් කටයුතු සඳහා පමණක් විදේශයන් ගෙන් ණයට ගත් රුපියල් බිලියන 700කට වැඩි මුදලක් වැයකර ඇතත්, එයින් නිසි පලදයිතාවයක් ලැබී නැති බවත් එසේ ඉඳිකළ දැවැන්ත මහා මාර්ග ගොවින් අද යොදා ගන්නේ වී වේලීම සඳහාය.

    එම මුදලින් සියයට 10 ක් යොදවා එම දිස්ත්‍රීක්කයේ පිහිටි ප්‍රධාන වැව් 47 යලි ප්‍රතිසංස්කරණය කලේ නම් එම ප්‍රදේශයේ ජනතාවට යහපතක් වන බවද හා මෙවර අයවැයේදී මෙවැනි කරුණු සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුකරනු ඇති බවද පැවසේ.

    මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසන්නේ, මෙරට ආර්ථික සංවර්ධනය ඇති කර ගැනීම සඳහා 2019 අයවැය ඉතාමත් ශක්තිමත් විය යුතු බවයි.

    ඩේලි එෆ් ටී පුවත්පත වෙත අදහස් දක්වමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙහෙයුම් ප්‍රධානී මැනුවෙලා ගොරේටී පවසා ඇත්තේ, ශ්‍රී ලංකාවේ ණය තවදුරටත් අඩු කර ගැනීමට සහ ආයෝජකයින් අතර වැඩි විශ්වාසය ඇති කිරීමට 2019 අයවැය ශක්තිමත් විය යුතු බව ය.

    මෙරට ආර්ථිකයට ඇති වන බලපෑම්වලට මුහුණ පෑම සඳහා ඇති හැකියාව ශක්තිමත් කර ගැනීම සඳහා උපරිමයෙන් කැප කිරීම් කළ යුතු බව ද තවදුරටත් ඇය සඳහන් කර තිබේ.

    Latest News