පාස්කු වින්දිතයන්ට සාධාරණය ඉටුවන තෙක්, කිතුණු ජනතා ඉවසීම විශිෂ්ටයි; අගමැති

අප්‍රේ 03, 2021

    පාස්කු දින ප්‍රහාරයේ වින්දිතයන් වූ සැමට සාධාරණය ඉටුවන තෙක් වූ කිතුණු ජනතා ඉවසීම විශිෂ්ට බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (03) දින සිහිපත් කළේය.

    දෙවසරක් ගතවන පාස්කු දින ප්‍රහාරය සම්බන්ධයෙන් අදහස් පළ කරමින් අගමැතිතුමා මේ බව අවධාරණය කළේය. ලොව පුරා කිතුණු බැතිමතුන් සමඟ එක්ව ශ්‍රී ලාංකේය කිතුණු ජනතාව හෙට (04) දිනයේ ඉමහත් හරසරින් පාස්කු මංගල්‍යය සමරති.

    විමුක්තිදායක ප්‍රමිතියේ සැමරුම් දිනය වන මෙදින ශ්‍රී ලාංකේය කිතුණු ජනතාව ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මරණය පරාජය කර උත්ථානවීම බැතියෙන් සිහි කරති. මෙයට වසර දෙකකට පෙර 2019 අප්‍රේල් 21 වැනිදා පාස්කු මංගල්‍යය දින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් කුඩා දරුවන් ඇතුළු කිතුණු බැතිමතුන් දෙසිය පනහකට අධික පිරිසකගේ ජීවිත අහිමු වූ බව අපි දනිමු.

    මෙම මිලේච්ජ ප්‍රහාරය එදා මෙන්ම අදත් අප තරයේ හෙළා දකින අතර ප්‍රහාරයෙන් ජීවිත අහිමි වු කිතුණු ජනතාවගේ පවුල්වල සමාජිකයන්ට මෙන්ම සමස්ත කිතුණු ජනතාවට අපගේ සංවේගය පළ කරන්නෙමු.

    එමෙන්ම පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරයට වගකිවයුත්තන් නීතිය හමුවට ගෙන ඒමේ පරීක්ෂණ රජයක් ලෙස මේ දක්වා අඛණ්ඩව ඉටු කර තිබෙන බව ඔබට සිහිපත් කරමි. කිතුණු ජනතාව බලාපොරොත්තුවන පරිදි ප්‍රහාරයට වගකිවයුත්තන් නීතිය හමුවේ වරදකරුවන්වනතුරු එම පරීක්ෂණ ක්‍රියාවලිය කිසිඳු බලපෑමකින් තොරව ක්‍රියාත්මක වේ.

    පාස්කු දින ඉටි පහනේ අලෝකය සහෝදර ජනතාවට සහනාලෝකය අත්විඳින්නට ඉඩ සළස්වනවා මෙන්ම පාස්කු අර්ථයෙන් ගත්විට සියලු දෙනා එතෙර වීම කිතුණු ජනතාවගේ ද අපේක්ෂාවයි.

    එම උදාර අරමුණ අනුව යමින් පාස්කු දින ප්‍රහාරයේ වින්දිතයන් වූ සැමට සාධාරණය ඉටුවන තෙක් වූ කිතුණු ජනතා ඉවසීම විශිෂ්ට බව සිහිපත් කරමි. සමාජය තුළ මුහුණ දීමට සිදුවන විවිධ අභියෝග හමුවේ මානව දයාවෙන්, සහජීවනයෙන් හා අන්‍යෝනය ප්‍රේමයෙන් යුතුව දිවි ගෙවීමට කිතුණු ජනතාවට හැකිවේවා යන්න අප සැමගේ ප්‍රාර්ථනාවයි.

    ශ්‍රී ලාංකේය කිතුණු බැතිමතුන් සැමට සුබ පාස්කු මංගල්‍යයක් වේවා!යි ප්‍රාර්ථනා කරමි යැයි අග්‍රාමාත්‍යතුමා පැවසීය.

    Last modified on සෙනසුරාදා, 03 අප්‍රේල් 2021 19:54

    Latest News