පෝට් සිටි ව්‍යාපෘතිය පිළිබඳවයි මේ......

අප්‍රේ 17, 2021

    පෝට් සිටි ව්‍යාපෘතිය පිළිබඳව මේ දිනවල දැඩි කතාබහට ලක්ව තිබේ.

    ඒ පිළිබඳව සමාජ මාධ්‍යවල පළ වූ වාර්තාවක් පිළිබඳවයි අවධානය....

    චීන කොළනියක්ද?
    කොළඹ වරාය නගරය චීන කොළනියක් බවට පත්වන බව ඇතමුන් පැවසීම සම්පූර්ණයෙන්ම අසත්‍යයක්.

    කොමිෂන් සභා පිහිටුවන්නේ ඇයි?
    ආයෝජකයන්ගේ පහසුව සඳහා සියලු රාජ්‍ය ආයතන එක් ස්ථානයකින් සම්බන්ධීකරණය කිරීම (OSS) වෙනුවෙන් නව කොමිෂන් සභාව පිහිටුවනු ලැබේ. ඒ අනුව මෙම කලාපයට පිවිසෙන විදේශිකයින්ට වීසා ලබාදීම, බැංකු බලපත්‍ර ලබාදීම ඇතුළු අනෙකුත් සේවා අදාළ ශ්‍රී ලංකා රජයේ ආයතන විසින් මෙරට නීතියට අනුව සිදු කරයි.

    වරාය නගරය පාලනය කරන්නේ කවුද?
    කොමිසමේ සාමාජිකයින් ජනාධිපතිවරයා විසින් පත්කරන නිසා වරාය නගරයේ පාලනය ශ්‍රී ලංකාව යටතේ පවතී. එම සාමාජිකයින් ඕනෑම අවස්ථාවක ඉවත් කිරීමට ජනාධිපතිවරයාට බලය ඇත. සාමාජිකයින් වරදක් කළහොත් ඔවුන්ව මෙරට අධිකරණය හමුවට ඕනෑම අවස්ථාවක පැමිණවිය හැක.

    ආයෝජකයන් චීනයෙන් පමණ ද?
    ඕනෑම රටක ව්‍යාපාරිකයෙකුට ආයෝජනය කළ හැක. දැනටමත් ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයෙක් හරහා ආයෝජන ඉදිරිපත් වී ඇති අතර, ආයෝජකයන් දිරි ගැන්වීමට බදු සහන ලබාදෙනු ඇත.

    එතකොට රුපියල්වලින් ගෙවන්න පුලුවන්ද?
    වරාය නගරය තුළ ගණුදෙනු ශ්‍රී ලංකා රුපියල වගේම ලොව පිළිගත් අනිකුත් මුදල් ඒකකවලින් ද කළ හැක. සම්මත ගණුදෙනු සිදුවන්නේ විදේශීය මුදල් ඒකකයකින් නිසා හුවමාරු ගාස්තුවක් ගෙවීමට සිදුවේ.

    ශ්‍රී ලාංකිකයන්ට රැකියා කළ හැකිද?
    ඕනෑම ශ්‍රී ලාංකිකයෙකුට වරාය නගරය තුළ රැකියා කළ හැකි අතර, විදේශීය මුදල් මගින් වැටුප් ගෙවීම් සිදු කරයි. එම වැටුප් මෙරට බැංකු ගිණුම්වල තැන්පත් කළ හැකි අතර, එය බදුවලින් නිදහස් කරනු ඇත.

    වරාය නගරයේ පොලිසිය කවුද?
    ශ්‍රී ලංකා පොලිසිය වරාය නගරයේ නීතිය බලාත්මක කරන අතර, එහි නඩු කටයුතු ශ්‍රී ලංකා උසාවිය තුළ විභාග කෙරේ. නමුත් එම නඩු ඉතා ඉක්මනින් අවසන් කිරීමට කටයුතු කරනු ඇත.

    සාමාන්‍ය පුරවැසියෙකුට ඇතුළට යන්න වීසා ඕනද?
    නෑ. ඕනම කෙනෙකුට වෙරළ පාගන්න, බඩු ගන්න එන්න පුලුවන්. කිසිම ප්‍රශ්නයක් නෑ. වීසා ඕන නෑ.

    Latest News