අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, මුර්දු ප්‍රනාන්දු, සහ ජනක් ද සිල්වා යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම් විභාගය පැවැත්වෙනවා.
මෙහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් ෆර්සානා ජමිල් මහත්මිය මෙම පනත් කෙටුම්පතේ සිදු කිරීමට යෝජිත සංශෝධන අඩංගු ලේඛනයක් අධිකරණයට ඉදිරිපත් කළා.
අනතුරුව කරුණු දැක්වූ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය මෙම පනත් කෙටුම්පත හරහා ස්ථාපිත කිරීමට යෝජිත කොමිසම ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව දීර්ඝ ලෙස කරුණු පැහැදිලි කළා.
වරාය නගර කලාපය තුළ ස්ථාපිත කෙරෙන බැංකු මෙරට බැංකු අණපනත් මගින් අධීක්ෂණය කෙරෙන අතර අදාළ කලාපය තුළ ස්ථාපිත කෙරෙන බැංකු සදහා බලපත්‍ර නිකුත් කිරීමේ බලය ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය වෙත පැවරී තිබෙන බව ද ඇය පැවසුවා.
යෝජිත කොමිසම විසින් අනුමත කරනු ලබන ප්‍රධාන වැඩ සැලැස්ම (Master plan) ක්‍රියාත්මක කිරීමට පෙර ජනාධිපතිවරයාගේ අනුමැතිය ලබා ගැනීමට එම කොමිසමට සිදු වන බවත් ඇය පෙන්වා දුන්නා.
මෙහිදී විනිසුරු ප්‍රියන්ත ජයවර්ධන මහතා මතු කළ ප්‍රශ්ණයකට පිලිතුරු දුන් අතිරේක සොලිස්ටර් ජනරාල් වරිය වරාය නගර කලාපය තුළ ස්ථාපිත කෙරෙන ව්‍යපාර සහ ආයෝජන සදහා බලපත්‍ර නිකුත් කිරීමේ බලය මෙන්ම එම කටයුතු අධීක්ෂණය කිරීමේ බලයද යෝජිත කොමිසම වෙත පැවරෙන බවත් පැවසුවා.
පෙත්සම් විභාගය තව දුරටත් පැවැත්වෙනවා.
එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන, එම පක්ෂයේ මහලේකම් පාලිත රංගේබණ්ඩාර, ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ, පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්, ඓ ශ්‍රී ලංකා නීතිඥ සංගමය, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය, සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර, තොරතුරු තාක්ෂණ වෘත්තීයවේදීන්ගේ එකමුතුවේ සභාපති වන ඉංජිනේරු ජී. කපිල රේණුක පෙරේරා මහතා ඇතුළු පිරිසක් විසින් පෙත්සම් 19 ක් ඉදිරිපත් කර තිබෙනවා.
එමෙන්ම අදාළ පෙත්සම්වලට මැදිහත් වී කරුණු දැක්වීමට අවසර ඉල්ලා අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නීතිඥ සංගමය, මුදල් අමාත්‍යංශයේ ලේකම් එස්.ආර්.ආටිගල , අමාත්‍ය මණ්ඩල ලේකම් ඩොනල්ඩ් ප්‍රනාන්දු, ජනාධිපති ලේකම් පී.බී ජයසුන්දර ඇතුළු පිරිසක් විසින් අතරමැදි පෙත්සම් 13 ක් ඉදිරිපත් කර තිබෙනවා.
පෙත්සම්කරුවන් සඳහන් කරන්නේ අදාල පනත් කෙටුම්පතේ අන්තර්ගත ඇතැම් වගන්ති වලින් මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වන බවයි.
මේ හේතුවෙන් අදාළ වගන්ති සම්මත කිරීමට අවශ්‍ය නම් ඒවා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් සහ ජනමත විචාරණයකින් සම්මත විය යුතු බවට තීන්දුවක් ලබාදෙන ලෙස ද පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.