ඉටුකම අරමුදලට අබුඩාබියෙන් රුපියල් මිලියන 54ක පරිත්‍යාගයක්

ජූනි 08, 2021

    අබුඩාබියේ සිටින ශ්‍රී ලාංකික මුස්ලිම් සහෝදරයකු වන සිරාජ් ෆයිනෑන්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි මොහොමඩ් රුසාන් ෆයිරෝස් මහතා දිරාම් 100,000/- ක් (ශ්‍රී ලංකා රුපියල් 5,400,000/-) ඉටුකම සෞඛ්‍ය සහ සමාජ ආරක්ෂණ අරමුදලට පරිත්‍යාග කර ඇත.

    ඉහළ යමින් පවතින කොවිඩ්-19 රෝගීන් සංඛ්‍යාව හේතුවෙන් පැන නැගී ඇති හදිසි අවස්ථා තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාවට වෛද්‍ය උපකරණ හා මූල්‍ය ආධාර පරිත්‍යාග කරන ලෙස ඉල්ලා සිටිමින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති මල්රාජ් ද සිල්වා මහතා එහි සිටින සියලු ශ්‍රී ලාංකිකයන්ට සිදු කළ ආරාධනය අනුව,මෙම පරිත්‍යාගය සිදු කර ඇත්තේ පසුගිය ජූනි 03 වැනිදායි.

    කොවිඩ්-19 අරමුදල වෙත එම පරිත්‍යාගය සංකේතාත්මකව භාර දීම පිණිස, ජනාධිපතිතුමන්ගේ ජ්‍යෙෂ්ඨ උපදේශක ලලිත් වීරතුංග මහතා සහ මොහොමඩ් ෆයිරෝස් මහතා අතර අතථ්‍ය හමුවක් පැවැත්වීමට ඉකුත් 3 වන දින එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපතිවරයා විසින් පහසුකම් සලසා තිබුණි.

    විදේශ රටවල ජීවත්වන ශ්‍රී ලාංකිකයන්ගේ උපකාරය මව්බිමට අත්‍යාවශ්‍ය මෙම ‍තීරණාත්මක මොහොතේ සිදුකළ මෙම නිර්ලෝභී පරිත්‍යාගය සම්බන්ධයෙන් වීරතුංග මහතා මෙම හමුවේදී ජනාධිපතිතුමන් වෙනුවෙන් සිය බලවත් ප්‍රසාදය මොහොමඩ් ෆයිරෝස් මහතා වෙත පළ කරන ලදි.

    Latest News