අසේල සම්පත්ට අවවාද කොට ඇප මත මුදා හරී

ජූනි 26, 2021

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගන්නා ලද සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමයේ ජාතික සංවිධායක අසේල සම්පත් මහතා තරයේ අවවාද කොට ඇප මත මුදා හැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

    මින් ඉදිරියට වගකීමකින් තොර ප්‍රකාශ නිකුත් කිරීමෙන් වළකින ලෙස සැකකරුට තරයේ අවවාද කළ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නෙරංජනා ද සිල්වා මහත්මිය සැකකරු රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළේය.

    සැකකරු අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දිලීප පිරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ද ඇතිව ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කිරීමට යෝජිත "සිනෝවැක්ස්" නැමැති කොරෝනා මර්ධන එන්නත සම්බන්ධයෙන් සැකකරු සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකළ අසත්‍ය ප්‍රකාශ සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලකට අනුව මෙම සැකකරු අත්අඩංගුවට ගනු ලැබූ බව පැවසීය.

    කොරෝනා ව්යප්තිය මැඩලීම සඳහා රට පුරා එන්නත්කරන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙද්දී මෙම සැකකරු විසින් සිදු කරනු ලැබූ පදනම් විරහිත ප්‍රකාශ නිසා එම ක්‍රියාවලිය අඩපන වීමේ අවධානමක් පැනනැගී ඇතැයි පෙන්වා දුන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා එන්නත් සම්බන්ධයෙන් මත පළ කිරීමට සාමාන්‍ය පෙළ පමණක් සමත් මෙම සැකකරුට කිසිදු වෛද්‍යමය දැනුමක් නොමැති බවත් සඳහන් කළේය.

    මෙම සිද්ධියට අදාළව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති වරයා ඇතුළු රජයේ වගකිව යතු සෞඛ්‍ය බලධාරීන්ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශ ලබා ගෙන තිබෙන බවත් එම ප්‍රකාශ වලට අනුව මෙම සැකකරු විසින් සිදු කරනු ලැබූ පදනම් විරහිත ප්‍රකාශය හේතුවෙන් එන්නත්කරන වැඩපිළිවෙළ කෙරෙහි යොමුවීමට ජනතාව තුළ කිසියම් අධෛර්යක් මතුවී ඇති බව පෙනී යන්නේ යැයි ද රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා සඳහන් කළේය.

    වැඩිදුරටත් කරුණු දැක්වූ රජයේ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දිලීප පිරිස් මහතා අධිකරණය හමුවේ සඳහන් කර සිටියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් මෙම සැකකරු කිසිදු අවස්ථාවක පැහැරගැනීමක් නොකළ බව පැවසිය. 

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඊයේ රාත්‍රී සැකකරුගේ නිවසට ගොස් ඔවුන්ගේ අනන්‍යතාවය තහවුරු කිරීමෙන් පසුව ඔහු අත්අඩංගුවට ගත් බව සඳහන් කළ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා එහෙත් සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් තමන්ව පැහැර ගන්නා බවට අනවශ්‍ය ලෙස කෑ ගසමින් ප්‍රදේශවාසීන් කුපිත කිරීමට ක්‍රියාකර ඇතැයි ද පැවසීය.

    එමෙන්ම සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් පසුව කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරියා හමුවට ඉදිරිපත් කර වාර්තාවක් ලබාගෙන ඇති බවත් එම වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළේ මෙම සැකකරු කිසිදු ආකාරයක පහරදීමකට ලක්වී නොමැති බව අධිකරණ වෛද්‍ය නිලධාරියා විසින් තහවුරු කර ඇති බවයි.

    සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සේනක පෙරේරා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සැකකරු විසින් සිදුකළ ප්‍රකාශය හේතුවෙන් එන්නත්කරන වැඩපිළිවෙළ අඩාල වී ඇති බවට පැමිණිල්ල විසින් ප්‍රකාශ කලත් ඒ බව තහවුරු කෙරෙන සාක්ෂි කිසිවක් ඔවුන් විසින් අධිකරණය හමුවට ඉදිරිපත් කර නොමැති බව පැවසීය. 

    ඊයේ රාත්‍රී සැකකරු තම පවුලේ සාමාජිකයන් සමග නිවෙසේ සිටියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ඔහු පැහැරගෙන ගිය බව චෝදනා කළ නීතිඥ සේනක පෙරේරා මහතා අධ්‍යාපනය හදාරමින් සිටි සැකකරුගේ දරුවන්ගේ ජංගම දුරකථන පවා ඔවුන් විසින් රැගෙන ගොස් ඇතැයි චෝදනා කර සිටියේය.

    එම සැකකරු විසින් සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් අමාත්‍ය චන්න ජයසුමන විසින් සැකකරු වෙත එන්තරවාසියක් යවා තිබෙන බව පෙන්වාදුන් නීතිඥ සේනක ද පෙරේරා මහතා ඉන් අනතුරුව කුමන්ත්‍රණකාරී ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහු අත්අඩංගුවට ගෙන තිබෙන බවද චෝදනා කර සිටියේය.

    වැඩිදුරටත් නීතිඥ සේනක පෙරේරා අධිකරණයෙන් ඉල්ලා සිටියේ මෙම සැකකරුට එල්ල වී තිබෙන්නේ ඇප දිය හැකි වරදක් බැවින් ඔහු ඇප මත මුදා හරින ලෙසයි.

    ඒ අනුව සැකකරු ඇප මත මුදාහැරීමට තීන්දු කළ මහේස්ත්‍රාත්වරිය නඩුව නැවත ජූලි මස 22වැනිදා කැඳවන ලෙසද නියෝග කළේය.

    Latest News