හෝමාගම හිටපු දිසා විනිසුරුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේපයි

ජූලි 07, 2021

    අල්ලස් චෝදනාවක් සම්බන්ධයෙන් වරදකරු වී වසර 16ක සිර දඬුවම් නියම වී සිටින හෝමාගම හිටපු දිසා විනිසුරු සුනිල් අබේසිංහ මහතා විසින් තමන්ම ඇප මත මුදා හරින ලෙස ඉල්ලමින් ගොනු කරන ලද ප්‍රතිශෝධන පෙත්සමක් අභියාචනාධිකරණය ප්‍රතික්ෂේප කළේය. 

    මේනකා විජේසුන්දර සහ නීල් ඉද්දවෙල යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් එම තීන්දුව ලබා දුන්නේය.

    2013 වසරේ හෝමාගම දිසා විනිසුරුවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී නඩුවක පාර්ශවකාරියකගෙන් රුපියල් ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලා ලබා ගත්තේ යැයි කියන චෝදනාවට වරදකරු කෙරුණු හෝමාගම හිටපු දිසා විනිසුරු සුනිල් අබේසිංහ මහතාට කොළඹ මහාධිකරණය විසින් ඉකුත් 2020 වසරේ පෙබරවාරි මස බරපතළ වැඩ සහිත වසර 16ක සිර දඬුවම් හා දඩ නියම කළේය.

    එම දඬුවමින් තමන්ව නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා විත්තිකාර හිටපු දිසා විනිසුරුවරයා විසින් අභියාචනාධිකරණය හමුවේ අභියාචනා පෙත්සමක් ගොනු කරනු ලැබිය.

    එම අභියාචනා පෙත්සම විභාග කොට අවසන් තීන්දුවක් ලබා දෙන තුරු තමන්ව ඇපමත මුදාහරින ලෙස ඉල්ලමින් හිටපු දිසා විනිසුරුවරයා විසින් අභියාචනාධිකරණය වෙත මෙම ප්‍රතිශෝධන පෙත්සම ඉදිරිපත්කර තිබිණ.

    විත්තිකරුගේ වයස්ගතභාවය සහ වර්තමානයේ පැතිරී යන කොරෝනා වසංගත තත්ත්වය සුවිශේෂ කරුණු සේ සලකා විත්තිකාර දිසා විනිසුරුවරයා ඇප මත මුදා හරින ලෙස ඔහුගේ නීතිඥවරු අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබිණ. 

    එහෙත් විත්තිකරුගේ ඇප ඉල්ලීම තුල කිසිදු නීතිමය පදනමක් නොමැති හෙයින් එය ප්‍රතික්ෂේප කරන බව අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල සඳහන් කළේය.

    Last modified on බදාදා, 07 ජූලි 2021 18:31

    Latest News