'ඩෙල්ටා' ඇතිකළ කොවිඩ් 3වැනි රැල්ල

ජූලි 16, 2021

    ශීඝ්‍ර ව්‍යාප්තියක් සහිත ඩෙල්ටා කොරෝනා ප්‍රභේදය හේතුවෙන් ලෝකය මේ වන විට තුන්වැනි කොරෝනා රැල්ලේ මුල් අදියරට එළඹ ඇති බවට ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

    එම සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රෝස් ඇඩනම් ගෙබ්‍රියාසස් ඊයේ මේ පිළිබඳ ගෝලීය රටවල් සඳහා අනතුරු ඇඟවීමක් කර තිබේ.

    ජිනීවා නුවරදී අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, ඩෙල්ටා විකෘති ප්‍රභේදයේ ව්‍යාප්තිය මෙන්ම, සමාජය තුළ පනවා ඇති මහජන සෞඛ්‍ය සුරැකීමේ ක්‍රියාමාර්ග අනුගමනය නොකිරීම හේතුවෙන් මෙය ව්‍යසනකාරී තත්වයකට පත්වෙමින් තිබෙන බවයි. එමෙන්ම, මේ හේතුව නිසා කොරෝනා ආසාදිත සංඛ්‍යාව මෙන්ම, මරණ සංඛ්‍යාව ද ඉහළ යමින් පවතින බව ඔහු එහිදී ප්‍රකාශ කර සිටියේය.

    එන්නත්කරණය ඉහළ යාම තුළින් යුරෝපයේ සහ උතුරු අමෙරිකාවේ සුබවාදී වාතාවරණයක් පසුගිය කාලය තුළ දක්නට ලැබිණ. කෙසේ නමුත්, කොරෝනා වෛරසය තවදුරටත් ප්‍රචාරණය වන නව ප්‍රභේදවලට පරිණාමය විය හැකි බවයි, ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා සඳහන් කළේ.

    මේ වන විටත් ඩෙල්ටා කොරෝනා ප්‍රභේදය ලොව රටවල් 111ක පැතිර ඇති අතර එය ලොව ප්‍රමුඛ කොරෝනා ප්‍රභේදය බවට පත්ව ඇතැයි, විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    Last modified on සිකුරාදා, 16 ජූලි 2021 09:45

    Latest News