නෞකාවේ ගින්නෙන් පීඩාවට පත් ධීවරයින්ට වන්දි ලබාදීම තවදුරටත්....

අගෝ 02, 2021

    X Press Pearl නෞකාවේ ඇති වු ගින්නෙන් මෙරටට සිදු වු බලපෑම හා හානිය සම්බන්ධයෙන් සියලු ක්ෂේත්‍ර ආවරණය වන පරිදි වන්දි ලබා ගැනීම හා මීට අදාළව මෙතෙක් ගත් ක්‍රියාමාර්ගයන්හි ප්‍රගතිය විමසා බැලීමේ සාකච්ඡාවක් අමාත්‍ය අලි සබ්රි මහතාගේ ප්‍රධානත්වයෙන් අද (02) අධිකරණ අමාත්‍යාංශයේදී පැවැත්විණි.

    සාගරය තුළ ගිලී ඇති නැවෙන් තෙල් කාන්දුවීම සම්බන්ධයෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී සාකච්ඡා වු අතර, ඒ පිළිබඳව නිරන්තර අවධානයෙන් සිටින ලෙස අමාත්‍යවරයා සමුද්‍රීය පරිසර ආරක්‍ෂණ අධිකාරීය, ශ්‍රී ලංකා නාවික හමුදාව, නාරා ආයතනය හා වෙළද නාවික ලේකම් කාර්යාලය ඇතුළු නිලධාරීන් වෙත දැන්වීය.

    ගිනිගත් නැවෙහි කොටස් මුහුදු වෙරළ වෙත පැමිණීම හේතුවෙන් වෙරළ පද්ධතියට වන හානිය මෙන්ම පවිත්‍ර කටයුතු පිළිබඳව මෙහිදී අවධානය යොමු වු අතර එහිදී වෙරළ පවිත්‍ර කිරීමේ කටයුතු සඳහා යම් ගෙවීමක් සිදු කර ධීවර ජනතාව ඒ සඳහා එක් කර ගත හැකි ද යන්න පිළබඳව තවදුරටත් සාකච්ඡා කර අවශ්‍ය පියවර ගන්නා ලෙස ද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

    විශේෂයෙන් අනාගතයේදී මෙවැනි සිදුවීමක් සිදු වුවහොත් ඒ සඳහා මුහුණ දීමේ ජාතික කමිටුවක් සියලු පාර්ශ්ව විසින් සාකච්ඡා කර සුදුසු පරිදි සකස් කළ යුතු බවත් ඒ සඳහා කඩිනමින් කටයුතු කළ යුතු බවත් පැවසීය.

    නැවෙහි ඇති වු ගින්න හේතුවෙන් සිය රැකියා අහිමිව පීඩාවට පත් ධීවර ජනතාවට වන්දි මුදල් ලබාදීමේ කටයුතු මේ වන විටත් සිදු කරමින් පවතින බවත් සම්පුර්ණ වන්දි මුදල් ලබා ගැනීමට අදාළ කටයුතු තවදුරටත් සිදු වන බවත් මෙහිදී සාකච්ඡා විය.

    රාජ්‍ය අමාත්‍යවරුන් වන කංචන විජේසේකර, මොහාන් සිල්වා, නීතිපති සංජය රාජරත්නම් යන මහත්වරුන් ඇතුළු නිලධාරින් පිරිසක් සාකච්ඡාව සඳහා එක්වූහ.

    Latest News