ජනපති සිහින පවුල් පොරය විකට රංගනයක්

පෙබ 17, 2019

    මීළඟ ජනාධිපති තමන්, තමන් නොව මව, නැත්නම් සහෝදරයා ලෙස පවසමින් පවුල් පොරය විකට රංගනයක් වී ඇති බව, නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවසීයි.

    කවුරු කුමන නැටුම් නැටුවද තමන්ගේ නැටුම රටේ උදා ගම්මාන 20,000 ක් ජනතාව වෙනුවෙන් ඉදිකිරිම බව ඔහු කියා සිටියේය.

    සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ අම්පාර දිස්ත්‍රික්කයේ දමන ඉදිවූ “සුනිලදියගම” උදා ගම්මානය ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට අද (17) දින සහභාගී වෙමිණි. “සැමට සෙවණ” යළි පිබිදෙන උදා ගම්මාන වැඩසටහන යටතේ ජනතා අයිතියට පැවරුණු 166 වන ආදර්ශ ගම්මානය මෙය වේ. නිවාස 21 කින් සමන්විත “සුනිලදියගම” උදාගම්මානය අංග සම්පූර්ණව ඉදිකිරීම සඳහා වැයකළ මුදල රුපියල් ලක්ෂ 221 කි. පිරිසිදු පානීය ජලය, විදුලිය, ප්‍රවේශ මාර්ග හා විධිමත් අභ්‍යන්තර මාර්ග ඇතුළු සියලු යටිතල පහසුකම් වලින් මෙය සමන්විත වේ.

    “සුනිලදියගම” උදා ගම්මානය ජනතා අයිතියට පත්කිරීමට සමගාමීව නිවාසලාභීන් 21 දෙනාට නිවාස හිමිකම් පත්‍ර ප්‍රදානය හා රුපියල් ලක්ෂ 21 ක් වටිනා සංවර්ධිත බිම් කොටස් 21 ක හිමිකම නොමිලේ ලබාදීම සිදුකෙරිණ. වකුගඩු රෝගීන් 25 දෙනෙකු සඳහා රුපියල් ලක්ෂ 50 ක් වටිනා නිවාස ආධාර, ප්‍රතිලාභීන් 50 දෙනෙකුට රුපියල් ලක්ෂ 50 ක් වටිනා නිවාස ණය ප්‍රදානය, ‘ශිල්ප සවිය’ වැඩසටහන යටතේ ශිල්පීන් 30 කට රුපියල් ලක්ෂ 15 ක් වටිනා වෘත්තීය උපකරණ කට්ටල සහ දෘෂ්‍යාබාධ සහිත පුද්ගලයින් 69 දෙනෙකුට නොමිලේ ඇස් කණ්නාඩි ප්‍රදානය කෙරිණ

    රටේ ලක්ෂ 210 ක් වූ ජනතාවගේ හද ගැස්ම හා අපේක්ෂාව කිසිවකුගේ වහලෙකු නොවී උසස් ජන ජීවිතයක් ගත කිරීම බවත්, එවැනි ශක්තිමත් ජන ජීවිතයක් ගත කිරීමට නම් සෑම පුද්ගලයෙකුටම තමන්ගේ කියා බිම් අඟලක් තිබිය යුතු බවත් පැවසූ අමාත්‍යවරයා අවධාරනය කලේය. යහපාලන රජයේ පැතුම ජනතාවට තෘප්තිමත් ජීවිතයක් ගත කිරීමට හැකි රටක් බිහි කිරීම වන අතර ඒ සඳහා ජනාධිපතිතුමන්ගේ සහ අගමැතිතුමන්ගේ ශක්තිය තමන්ට හිමිවන බවත් සඳහන් කළේය.

    පසුගිය පාලන සමයේ ඇමතිවරුන්ට සංවර්ධන කටයුතු සඳහා මුදල් වෙන් නොකර රජ පවුලේ සාමාජිකයින්ගේ පැවැත්මට පමණක් මුදල් වෙන් කළ බවත්, වත්මන් නායකයින් තමාගේ කකුලෙන් නොඇද රිසි සේ නිවාස වැඩසටහන සිදු කිරීමට තමන්ට ඉඩ ලබා දී ඇති බවත්, පසුගිය පාලන කාලය මෙන් රජ පවුල විසින් ඇමතිවරුන් නැටවූ පාලනයක් යහපාලන රජය සතුව නොමැති බවත් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

     

    Last modified on සදුදා, 18 පෙබරවාරි 2019 11:26

    Latest News