ජලභීතිකාව මිනිසාට මෙන්ම සතුන්ට ද බෝවන වෛරස රෝගයකි. වෛරසය ආසාදිත සතෙකුගේ ඛේටය මගින් පිටවන වෛරසය තවත් පුද්ගලයෙකුට ශරීරගත වීමෙන් රෝගය ආසාදනය වෙයි.
සපාකෑම්, සීරීම්, කැඩුණු සමමත හෝ ශ්ලේෂ්මල පටල මත ඛේටය තැවරීමෙන් වෛරසය ආසාදනය විය හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මහජන සෞඛ්‍ය පශු වෛද්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය එල්.ඩී. කිත්සිරි මහතා ප්‍රකාශ කරයි.
ජලභීතිකාව මිනිසාට සම්ප්‍රේෂණය වන ප්‍රධාන වාහකය සුනඛයායි. කඩිනම් සහ ඵලදායී එන්නත් මගින් රෝගය වළක්වාගත හැකි වුව ද රෝග ලක්ෂණ පහළ වූ පසු ජලභීතිකා රෝගය සතුන්ට මෙන්ම මිනිසුන්ට ද මාරාන්තික වීමට පිළිවන.
1970 ගණන්වල දී ශ්‍රී ලංකාවෙන් වසරකට ජලභීතිකා මරණ 350 සිට 380 දක්වා වාර්තාවූ අතර දැන් එය 20- 30 දක්වා අඩුවි තිබේ. අඩුම ජලභීතිකා මරණ සංඛ්‍යාව වාර්තාවන්නේ 2014 වර්ෂයේදීය. ඒ 19කි.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයීමට අනූව සුනඛ සපා කෑමෙන් සිදුවන මරණ 2025 ශ්‍රී ලංකාවෙන් තුරන් කළ හැකි බව වෛද්‍ය කිත්සිරි මහතා පෙන්වා දෙයි.
ශ්‍රී ලංකාවේ වසරකට පුද්ගලයන් 300,000 ත් 350,000 ත් අතර සංඛ්‍යාවක් සුනඛ සපා කෑමෙන් රෝහල් ප්‍රතිකාර සඳහා යොමු වන අතර ජලභීතීකා මර්දන කටයුතු සඳහා රජය වාර්ෂිකව වැයකරන මුදල රුපියල් මිලියන 600කට අධික බව වෛද්‍යවරයා ප්‍රකාශ කරයි.
ශ්‍රී ලංකාවෙන් ජලභීතිකා රෝගය තුරන් කිරීමට නම් සුනඛයින්ගෙන් 70%කට ජලභීතිකා රෝගයට එරෙහි එන්නත් දීම කළයුතුය. ඒ සඳහා සියලු සුනඛයින්ට සති 4-6 අතරේත්, නැවත මාස 03දීත් හා ඉන් පසු වසරක් පාසාත් එන්නත් දිය යුතු බව වෛද්‍ය කිත්සිරි මහතා පවසයි.
සැක සහිත සතෙකු සපා කෑ ස්ථානය ගලායන ජලයෙන් විනාඩි 10ක් සෝදා රෝහල්ගත කළ යුතුය. මානුෂීය ක්‍රම මගින් සුනඛ ගහනය පාලනය කිරීමෙන් හා වගකීමෙන් සුරතල් සතුන් ඇති කිරීමෙන් ජලභීතිකා රෝගය ශ්‍රී ලංකාවෙන් තුරන් කළ හැකි බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි.
ජලභීතිකා රෝගය තුරන් කිරීමෙන් මිනිස් ජීවිත බේරා ගැනීමටත්, පශ්චාත් නිරාවරණ ප්‍රතිකාර සඳහා යන පිරිවැය ඉතිරි කර ගැනීමටත් හැකිවන බව ද සෞඛ්‍ය පශු වෛද්‍ය සේවා අධ්‍යක්ෂකවරයා පෙන්වා දෙයි.