දියුණු රටවල අධ්‍යාපන ක්‍රමය වත්මන් සමාජයට ගැලපෙන ආකාරයට සකස් කර තිබෙන බව අද (21) දී ජාතික අධ්‍යාපන වැඩසටහන සිසුගත කිරීමේ උත්සවයට සහභාගි ඔහු කියා සිටියේය.
ජපානය, කොරියාව, චීනය වැනි රටවල මෙන් ශ්‍රී ලංකාවේ ද වසර 13 ක පාසල් අධ්‍යාපනය අනිවාර්ය කරමින් නූතන ආර්ථිකයට ගැලපෙන ආකාරයට රැකියා සහ ආදායම් මාර්ග ඇති කරන බව වික්‍රමසිංහ මහතා පැවසීය.
ජාතික උත්සවය අමතා අදහස් දැක්වූ රනිල් වික්‍රමසිංහ මහතා “අධ්‍යාපනයේ විප්ලවකාරී පියවරකින් අපි ශ්‍රී ලංකාව නවීකරණය කරනවා. එක් කාලයක රජ දවස අපේ ප්‍රධානතම ආර්ථක සම්පත වූයේ වියළි කලාපයේ වී වගාවයි. අනතුරුව අපේ ආර්ථික සම්පත වූයේ කුරුදු ඇතුලූ කුළුබඩුයි. අද නූතන ලෝකයේ අපේ ප්‍රධානම සම්පත වන්නේ කෘෂි භාණ්ඩ, ඇඟළුම් හෝ ධීවර කර්මාන්තය නොවෙයි. අද අපේ ප්‍රධානතම සම්පත් වන්නේ මිනිස් සම්පත සහ ඉන්දීය සාගර මධ්‍යයේ පිහිටීමයි.
අද ලෝකයේ දියුණු රටවල අධ්‍යාපන ක්‍රමය සකසා තිබෙන්නේ වත්මන් සමාජයට ගැලපෙන ආකාරයට ශිෂ්‍ය ශිෂ්‍යාවන් පුරුදු පුහුණු කිරීමටයි. විශ්ව විද්‍යාල දැනුම පමණක් නොව, සමාජීය දැනුමත් ලබාදිය යුතුයි.
අප අද මේ ආරම්භ කරන්නේ අධ්‍යාපනයේ එම පෙරළියයි. අපේ රටට වසර 13 ක පාසල් අධ්‍යාපනය අත්‍යවශ්‍ය බව පළමු වතාවට දැන් පිළිගෙන තිබෙනවා. අපි සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මහතා ගැන, නිදහස් අධ්‍යාපනය ගැන කතා කරනවා. ශ්‍රී ලංකාවේ නිදහස් අධ්‍යාපනය ආරම්භ වූයේ 1940 දශකයේයි. ඒ වන විට අපේ අධ්‍යාපන මට්ටම උසස් තත්ත්වයක තිබුණා.
නමුත් අද වන විට කොරියාව, ජපානය, චීනය, තායිලන්තය, මැලේසියාව, සිංගප්පූරුව, ඉන්දුනීසියාව වැනි රටවල්වල වසර 13 ක අනිවාර්ය පාසල් අධ්‍යාපන ක්‍රමය ආරම්භ කර තිබෙනවා.
නිදහස් අධ්‍යාපන ක්‍රමය පළමුවෙන් ආරම්භ වූයේ ශ්‍රී ලංකාවේයි. නමුත් අපේ ක්‍රමය තුළ සිසුන් 50% ක් පමණ පාසල් අධ්‍යාපනය අතරමඟ හැර යනවා. එම නිසා එම තත්ත්වය වෙනස් කිරීම සඳහා අප මෙම විශාල වැඩපිළිවෙළ ක්‍රියාත්මක කර තිබෙනවා.
මේ සඳහා පළමුව පාසල් සඳහා අවශ්‍ය ආධාර හා උපකාර ලබා දුන්නා. අකිල විරාජ් කාරියවසම් අමාත්‍යතුමා යටතේ “ළඟම පාසල හොඳම පාසල” වැඩසටහන ආරම්භ කළා. සුරක්ෂා සිසු රක්ෂණ වැඩසටහන ආරම්භ කළා. මේ සියල්ල වසර 13 අනිවාර්ය අධ්‍යාපන ක්රමයේ පසුබිම සකස් කිරීම පමණක් බව කිව යුතුයි. අපේ මූලික පරමාර්ථය වූයේ සෑම දෙනාටම උසස් අධ්‍යාපනයක් ලබාදීමයි.
රටේ සමාජය දියුණු කිරීමට නම් මහාචාර්යවරු මෙන්ම ජයග්‍රහණ ලැබිය හැකි ක්‍රීඩකයන් ද අවශ්‍ය වෙනවා. මහාචාර්යවරු සිටීමෙන් හෝ හොඳම විශ්ව විද්‍යාල තිබීමෙන් පමණක් සෑහීමකට පත්විය නොහැකියි. ටෙස්ට්, 20-20 හෝ එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගවල ජයග්‍රහණ පිළිබඳව ද අප බලාපොරොත්තු තබා ගත යුතුයි.
විශ්ව විද්‍යාල පිරිහීම විශාල ප්‍රශ්නයක් වනවා සේම ක්‍රිකට් තරග දිනා ගැනීමට නොහැකි වීමත් රට තුළ ඒ හා සමානව විශාල ප්‍රශ්නයක් බවට පත් වෙනවා.
අපේ රටට කාර්මික දැනුම සහිත පුද්ගලයන්, උපාධිධාරීන් ලක්ෂ 3 ක් පමණ අවශ්‍ය වනවා. නමුත් අද වන විට අපට සිටින්නේ ලක්ෂයක පමණ පිරිසකුයි. මේ ලක්ෂ 3 ක පිරිසගේ සේවය ලබාගත හැකි නම් රටේ ණය ගෙවීමට පහසු වෙනවා. ඒ හරහා තවත් මිලියන 2000 – 3000 ක් පමණ උපයාගත හැකියි.
කෘෂි අංශයේ දැනුම වැඩි වන විට එම අංශයේ නිෂ්පාදන ඉහළ නැංවෙන අතර එමගින් තරගකාරීත්වය සහ මිල අඩු වීම සිදු වෙනවා. මේ ආකාරයට සෑම අංශයකම දැනුම අත්‍යවශ්‍ය වෙනවා. අලූත් වැඩසටහන අප ඉදිරිපත් කළේ එම නිසයි.
මෙම ස්ථානයේ නර්තනයට දක්ෂ පිරිස් සිටිනවා. දක්ෂතා ඇති නර්තන ශිල්පීන්ට නර්තන ගුරුවරයෙකු ලබාගන්නවාට වඩා වැඩි වැටුපක් මාසිකව ඉපැයීමේ හැකියාව තිබෙනවා. සංගීත ක්ෂේත්රය, විලාසිතා නිර්මාණ වැනි අංශවල තත්ත්වයත් එසේමයි. රූපලාවන්‍යාගාර හරහාත් හොදින් ඉපැයීමේ හැකියාව තිබෙනවා.
මේ වන විට රියදුරන් රහිත වාහන වෙළෙඳපොළට පැමිණ තිබෙනවා. ඒවා නිපදවීමටත් කාර්මික ශිල්පීන් අවශ්‍ය වෙනවා. වර්තමානයේ බොහෝ විට නිවසේ සිට ආහාර ගන්නවාට වඩා සුවිශේෂී අවන්හල් වෙත ගොස් ආහාර ගැනීමට පෙළඹි තිබෙනවා. කාලය අනුව ජනතාව වෙනස් වී තිබෙනවා. මේ අනුව ජනතාවට මුදල් ඉපැයීමේ මාර්ග රැසක් විවර වී තිබෙනවා.
වසර 13 ක පාසල් අධ්‍යාපනය අනිවාර්ය කිරීම හරහා අප ආරම්භ කරන්නේ එම විප්ලවයයි. ලෝකයේ හොඳම අධ්‍යාපන ක්‍රමය පවතින්නේ ෆින්ලන්තයේයි. එරට සෑම ශිෂ්‍යයෙක්ම වසර 13 ක අධ්‍යාපනය ලබනවා. සෑම දරුවෙක්ම විශ්ව විද්‍යාලවලට යාමට අවශ්‍ය නොවන බව ඔවුන්ගේ මතය වී තිබෙන අතර එම දරුවන් වෙනත් විවිධ අංශ වෙත යොමු කිරීමට ඔවුන් කටයුතු කරනවා.
අපේ රටේ මෙම වෙනස ඇති කිරීමේ වගකීම අධ්‍යාපන ඇමැතිතුමා බාරගත්තා. ඒ අනුව ෆින්ලන්තය සම්බන්ධ කර ගනිමින් වැඩිකල් නොගොස් එම වැඩසටහන අපි ආරම්භ කළා. ඒ යටතේ පළමු පියවර ලෙස මේ අත්හදා බැලීමට පාසල් 800 ක් තෝරාගනු ලැබුවා.
මේ පාසල් 800 තුළ කාර්මික හා වෘත්තීය අධ්‍යාපන අංශ ඇති කරමින් වඩා හොඳ පාඨමාලා හැදෑරීමේ අවස්ථාව දරුවන්ට ලබාදිය යුතුයි. එය අපේ යුතුකමක්... මෙම වැඩසටහන සාර්ථක වූ විට පාඨමාලා හදාරන ශිෂ්‍යයන්ගේ සංඛ්‍යාව තවත් වර්ධනය කළ හැකියි. මේ වැඩ කටයුතු සිදු කිරීමට හැකියාව ලැබෙන්නේ රටේ ආර්ථික සංවර්ධනය යහපත් මට්ටමක පවතිනවා නම් පමණයි. වෙළෙඳ කලාප ඇති කරමින් නව සැලසුම් සකස් කරන්නේ ආර්ථික සංවර්ධනය ඇති කිරීම සඳහා“ යැයි ඔහු කියා සිටියේය.
අධ්‍යාපන අමාත්‍යාංශය මගින් සංවිධානය කර තිබූ මෙම උත්සවයට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් මහත්මිය සහ අමාත්‍යාංශ නිලධාරීන් ඇතුලූ විශාල පිරිසක් සභාගිව සිටියහ.