නාමල් බළල්ලේ, ආදිත්‍ය පටබැඳිගේ සහ මොහොමඩ් ඉර්ෂඩීන් යන මහාධිකරණ විනිසුරුවරුන් ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම නඩු විභාගය පැවැත්වෙනවා.
එහිදී අදාල ප්‍රහාර එල්ල වූ අවස්ථාවේදී යුද හමුදා බුද්ධි අංශ අධ්යක්ෂ වශයෙන් කටයුතු කළ බ්‍රිගේඩියර් (විශ්‍රාමික) චූල රත්නසිරි කොඩිතුවක්කු මහතාගෙන් සාක්ෂි සටහන් කරගැනීම සිදුවුනා.
රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුදර්ශණ ද සිල්වා මහතාගේ මෙහෙයවීම යටතේ සාක්ෂි දුන් සාක්ෂිකරු ජාතික තවුහිත් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම්ගේ අන්තවාදී ක්‍රියා කලාපය පිළිබඳව තමා අවස්ථා කීපයකදී ආරක්ෂක ලේකම්වරයා දැනුවත් කරමින් ලිපි යොමු කළ බව සඳහන් කළා.
"ස්වාමීනී... සහරාන් හෂීම්ගේ ක්‍රියාකලාපය සහ ඔහුගේ අන්තවාදී ක්‍රියාකාරකම් පිළිබඳව ආරක්ෂක ලේකම්වරයා, පොලිස්පතිවරයා සහ රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානියා දැනුවත් කර තිබෙනවා. මීට අදාලව මම යොමුකර තිබෙන ලිපි සංඛ්‍යාව නවයක් පමණ වෙනවා. එම ලිපි තුළින් සහරාන් ගේ ක්‍රියා කලාපය පිළිබඳව දීර්ඝ විශ්ලේෂණයක් මා ඉදිරිපත් කළා. සහරාන් නියෝජනය කරන සංවිධානය පිළිබඳ විස්තර, එහි ව්‍යුහය, එම සංවිධානයෙන් ජාතික ආරක්ෂාවට එල්ල විය හැකි තර්ජන යනාදිය පිළිබඳව මා එම ලිපිවලින් බලධාරීන් දැනුවත් කළා" යනුවෙන් සාක්ෂිකරු සඳහන් කර සිටියා.
සහරාන් හෂීම්, ශ්‍රී ලංකාවෙන් පළා යාම පිළිබඳව ද රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා මතුකළ ප්‍රශ්නයකට සාක්ෂිකරු මෙසේ පිළිතුරු දුන්නා.
"සහරාන් හෂීම් නීති විරෝධී ලෙස මන්නාරම ප්‍රදේශයෙන් ඉන්දියාවට පලා ගොස් ඇති බවට අපට බුද්ධි තොරතුරු ලැබුණා. ඔහු ඉන්දියාවේ සිට ඔහු විසින් පවත්වාගෙන යන යූටියුබ් නාලිකාවට වීඩියෝවක් එක්කර තිබුණා. ඒ තුළින් තමයි අප තහවුරු කරගත්තේ සහරාන් ඉන්දියාවේ සිටින බව. පසුව සහරාන් යළි ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවට අපට තොරතුරු ලැබුණා"යනුවෙන් සාක්ෂිකාර යුධ හමුදා හිටපු බුද්ධි අධ්යක්ෂවරයා පැවැසුවා.
රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් සාක්ෂිකරු 2019 වසරේ පාස්කු ඉරුදින ප්‍රහාරයක් එල්ල වන බවට බුද්ධි තොරතුරු තමා වෙත එම ප්‍රහාරය එල්ල වීමට පෙර ලැබී නොතිබූ බව පැවසුවා.
එහිදී විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා සාක්ෂිකරු වෙත ප්‍රශ්නයක් යොමු කරමින් "ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වන බවට 2019 වසරේ අප්‍රේල් 4 වන දා රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානී නිලන්ත ජයවර්ධන මහතා වෙත ලැබී තිබුණු තොරතුරට අදාළ ලිපිය ඔබ වෙත ලැබී තිබුණේ දැයි" විමසා සිටියා.
"නැහැ.. ස්වාමීනි.. එවැනි ලිපියක් මට ලැබී තිබුණේ නැහැ. 2019 වසරේ අප්‍රේල් මස 09 වන දා බුද්ධි සමාලෝචන රැස්වීමට මා සහභාගි වුණා. එම රැස්වීමට රාජ්‍ය බුද්ධි සේවයේ අධ්යක්ෂ නිලන්ත ජයවර්ධන සහභාගී වී සිටියා. එහෙත් අප්‍රේල් 4 වනදා ලැබුණු තොරතුර පිළිබඳව ඔහු එම බුද්ධි සමාලෝචන රැස්වීමේ දී කරුණු ඉදිරිපත් කළේ නැහැ."යනුවෙන් සාක්ෂිකරු පැවසුවා.
එම අවස්ථාවේදී විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා යළි ප්‍රශ්නයක් යොමු කරමින් "රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානී නිලන්ත ජයවර්ධන මහතාට ලැබුණු මෙම ප්‍රහාරය පිළිබඳ තොරතුරු බුද්ධි සමාලෝචන රැස්වීමට ඉදිරිපත් කිරීමට ඔහූට කිසියම් බාධාවක් තිබුණේ දැයි" පෙරළා සාක්ෂිකරු ගෙන් ප්‍රශ්න කළා.
"ස්වාමීනි... එවැනි කිසිම බාධාවක් නැහැ. බුද්ධි සමාලෝචන රැස්වීමේදී ආරම්භක කරුණු ඉදිරිපත් කිරීම සිදු කරන්නේ රාජ්‍ය බුද්ධි සේවයේ අධ්යක්ෂවරයා විසින්. ඉතිං ප්‍රහාරය පිළිබඳව තොරතුරු ලැබිලා තිබුණා නම් එය ඔහුට එම බුද්ධි සමාලෝචන රැස්වීමට ඉදිරිපත් කිරීමට කිසිම බාධාවක් තිබුණේ නැහැ"යනුවෙන් සාක්ෂිකරු ප්‍රකාශ කළා.
විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා යළි ප්‍රශ්නයක් යොමු කරමින් "බුද්ධි සමාලෝචන රැස්වීමට එවැනි බුද්ධි තොරතුරු ඉදිරිපත් කිරීමට හැකියාවක් තිබෙනවාද? යනුවෙන් විමසා සිටියා.
ඊට පිළිතුරු දුන් සාක්ෂිකරු" ස්වාමීනි... බුද්ධි තොරතුරක් තිබෙනවා නම් එය ඉදිරිපත් කිරීමට සුදුසුම සහ හොඳම ස්ථානය තමයි බුද්ධි සමාලෝචන රැස්වීම. ඊට සහභාගී වන පුද්ගලයින් සියලු දෙනාම විශ්වාසවන්ත පුද්ගලයින්. ඒ වගේම ආරක්ෂාව සම්බන්ධයෙන් ඉහළ විශේෂඥ දැනුමක් සහිත පුද්ගලයින්."
යනුවෙන් සාක්ෂිකරු සඳහන් කළා.
බුද්ධි තොරතුරක් ලද විට තමා සෘජුවම ජනාධිපතිවරයා දැනුවත් කිරීමක් නොකරන බව කී සාක්ෂිකරු යුද හමුදාපතිවරයා හරහා ජාතික බුද්ධි ප්‍රධානියාට සහ ආරක්ෂක ලේකම්වරයාට එම තොරතුරු සන්නිවේදනය කරන බවත් කියා සිටියා.
ඒත් රාජ්‍ය බුද්ධි සේවයේ අධ්යක්ෂ එක ජයවර්ධන මහතා එවක ජනාධිපති වරයාට සෘජුවම බුද්ධි තොරතුරු සන්නිවේදනය කරන බවට සියලු දෙනා තුළ අවබෝධයක් තිබූ බව ද සාක්ෂිකරු සඳහන් කළා.
පාස්කු ඉරුදින ප්‍රහාරය එල්ල වීමෙන් පසුව එදින පෙරවරුවේ ඉන්දියානු රූපවාහිනී සේවයකින් මෙම ප්‍රහාරයට ආගමික අන්තවාදීන් සංවිධානයක් සම්බන්ධව තිබිය හැකි බවට සැක පළ කරමින් ප්‍රවෘත්තියක් ඉදිරිපත් කළ බව කී සාක්ෂිකරු ඉන්පසුව තමා ඒ පිළිබඳව තොරතුරු සොයා බැලීම සඳහා බුද්ධි නිලධාරීන් යෙදවූ බව කියා සිටියා.
ඒ අනුව පාස්කු ඉරිදා දෙහිවල දී මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කළ "ජමීල්" නමැත්තා ගේ නිවසට ඔහු පිළිබඳ සොයා බැලීම සඳහා යුද හමුදා බුද්ධි නිලධාරීන් කණ්ඩායමක් යොමු කළේ තමා විසින් බවද සාක්ෂිකරු ප්‍රකාශ කර සිටියා.
2019 වසරේ අප්‍රේල් මස 18 වනදා කාත්තන්කුඩි ප්‍රදේශයේ ඇති වූ පිපිරීම පිළිබඳව තමන්ට තොරතුරු ලැබුණු බව කී සාක්ෂිකරු පසුව බුද්ධි නිලධාරීන් යොදවා ඒ පිළිබඳව පරික්ෂා කළ බවද පැවසුවා.
එම පිපිරීමට අදාළ ඡායාරූප පිරික්සීමේදී එය සංවිධානාත්මකව ලෙස සිදුකළ පිපිරමක් බවට තොරතුරු තමන්ට හැඟී ගියේ යැයි කී සාක්ෂිකරු නැගෙනහිර පළාතේ සිටින හිටපු එල්ටීටීඊ නායකයකු ඝාතනය කිරීම සඳහා දැරූ උත්සාහයක් වශයෙන් මෙය තමන්ට මුලින්ම හැඟී ගිය බවද පැවසුවා.
ඒ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදු කරන ලෙස තමන් නිලධාරීන්ට උපදෙස් දුන් බවද සාක්ෂිකරු කියාසිටියා.
බුද්ධි තොරතුරු හුවමාරු කිරීමේදී රාජ්‍ය ආයතන අතර එතරම් සහයෝගයක් නොතිබූ බව සඳහන් කළ සාක්ෂිකරු රාජ්‍ය බුද්ධි සේවය වෙතින් ද එතරම් සහයෝගයක් නොලැබුණු බව කියා සිටියා.
යුද හමුදා බුද්ධි ප්‍රධානියාගේ සාක්ෂි සටහන් කර ගැනීමෙන් අනතුරුව
වැඩිදුර විභාගය හෙට දින තෙක් කල් තැබුණා.
හමුදා හිටපු බුද්ධි අධ්යක්ෂවරයාගේ සාක්ෂිය සටහන් කර ගැනීමේදී ජාතික ආරක්ෂාවට බලපාන ප්‍රධාන කරුණු වාර්තා කිරීමෙන් වළකින ලෙස ද විනිසුරු මඩුල්ල විසින් මෙහිදී ජනමාධ්‍යවේදීන් ගෙන් ඉල්ලීමක් කරනු ලැබුවා.