"Wise Woman" ජාතික වැඩසටහන ජනපති ප්‍රධානත්වයෙන්...

ජන 04, 2022

    Wise Woman ජාතික වැඩසටහන ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ. විශිෂ්ට කාන්තාවන් 10 දෙනෙකුට ජනපති අතින් සම්මාන.  

    පූර්ණ කුසලතාව තුළින් කාන්තාව සවිබල ගන්වා රටේ ආර්ථිකයට දායක කර ගැනීම සඳහා වූ  Wise Woman ජාතික වැඩසටහන අද (04) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණ.  මෙරට කාන්තා ජනගහණ ප්‍රතිශතය 52%කි. එහෙත් සමස්ත ජනගහණයේ කාන්තා ශ්‍රම දායකත්වය 30%ක් වැනි අඩු අගයක පවතින බව කරන ලද සමීක්ෂණයකින් හෙළි වී ඇත. කාන්තාවන් සඳහා නිපුණතාව සංවර්ධනය හා වෘත්තීය පුහුණුව ලබා දී, එමගින් ඔවුන් ජාතික ආර්ථිකයට දායක කර ගැනීම වැඩසටහනේ අරමුණයි.

    HENew2 900px 22 02 04

    නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශය මගින් වැඩසටහන ක්‍රියාවට නැංවේ.  ක්‍ෂේත්‍ර කිහිපයක දක්ෂතා දක්වමින් රටේ ප්‍රගමනයට දායක වූ මහාචාර්ය නිලීකා මලවිගේ, ආචාර්ය ආශා ඩි වෝස්, කස්තුරි විල්සන්, නිපුනි කරුණාරත්න, මෙලනි වගආරච්චි, පවිත්‍රා ගුණරත්න, රංගනා වීරවර්ධන, අයන්ති ගුණසේකර, නෙල්කා ශිරෝමාලා සහ තිලංකා අබේවර්ධන යන මහත්මීහු ජනාධිපතිතුමා අතින් විශිෂ්ට කාන්තාවන් ලෙස සම්මාන ලැබීය.  අපේ රටේ කාන්තාව සවිබල ගැන්වූවිට සංවර්ධනය වෙමින් පවතින රටක් ලෙස කුමන අභියෝග හමුවේ වුවද දෙවැනිවන්නට ඉඩක්නැති බව නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍ය සීතා අරඹේපොළ මහත්මිය සඳහන් කළාය.  

    HENew3 900px 22 02 04

    මහපොළොවෙන් සොයාගත් මැණිකකට වඩා ඔප දැමියහැකි, කවදා ලැබෙයිදැයි නොදන්නා තෙල් ආකරවලට වඩා වටිනාකමක් ඇති කාන්තා ශ්‍රම බලකායක් අප රට සතුය. ඔවුන් හඳුනාගෙන ඔපදැමූ දවසට මෙවැනි වසංගත කාලයක වුවද නැඟීසිටීමේ ශක්තිය අප සතු බව සීතා අරඹේපොළ මහත්මිය කියා සිටියාය.  අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, රාජ්‍ය අමාත්‍ය විජිත බේරුගොඩ, පියල් නිශාන්ත යන මහත්වරු සහ තානාපතිවරු, රාජ්‍ය නිලධාරීහු, විවිධ ක්‍ෂේත්‍රවල ඉහළ තනතුරුවලට පත් වූ කාන්තාවෝ ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    Latest News