ගෙවතු වගා වැඩසටහනට රජයෙන් කෝටි 3,100ක්

ජන 05, 2022

    රටේ පවතින වත්මන් තත්ත්වය සැළකිල්ලට ගෙන ආහාර නිෂ්පාදනය ඉහළ නැංවීමේ අරමුණින් ගෙවතු වගා වැඩසටහන යළි ආරම්භ කිරීම සඳහා රුපියල් කෝටි 3,100ක මුදලක් වෙන් කිරීමට රජය තීරණය කර තිබේ.

    මේ වෙනුවෙන් අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා වශයෙන් සිටි සමයේදී රට පුරා ගෙවතු වගා ආරම්භ කළ ආකාරයෙන් යළිත් වරක් රට පුරා ගෙවතු ආරම්භ කරන බවත් ගෙවතු වගාකරන සෑම අයකුටම දීමනාවක් දීමට රජය තීරණය කර තිබෙන බවත් මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.

    අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ මුදල් අමාත්‍යාංශයේ දී පෙරේදා (03) පැවැති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවට සහභාගි වෙමිනි. මේ දිනවල එළවළු සහ පලතුරු මිල ගණන් ඉහළ ගොස් තිබෙන බව ප්‍රකාශ කළ අමාත්‍යවරයා

    මීට හොඳම විසඳුම ගෙවත්තේ වගා කිරීම බවත් පර්චස් 20ට අඩු මෙරට 1,836,266ක් වන ගෙවතුවල භෝග වගාව වෙනුවෙන් රුපියල් 5,000ක දීමනාවක් ලබාදෙන බවත් ප්‍රකාශ කළේය.

    ඊට අමතරව 2,238,831ක් වන පර්චස් 20ත් අක්කරයත් අතර ගෙවතු වෙනුවෙන් රුපියල් 10,000ක දීමනාවක් දෙන අතර එම මුදල බිම් සකසා ගැනීම, බීජ හා පැළ ගැනීම සඳහා දෙන බවද, එය ප්‍රාදේශීය ලේකම්වරයා, ග්‍රාමීය නිලධාරීන් දෙදෙනෙක් සහ ප්‍රජාමූල නායකයන් එක්ව අධීක්ෂණය කරන බවද ඒ අනුව නිසිලෙස වගා කටයුතු සිදු කරන්නේ නම් මාස හයක කාලයකට පසුව පර්චස් 20ට අඩු බිමක් සඳහා රුපියල් 5,000ක් සහ අක්කරයට අඩු බිමක් වෙනුවෙන් රුපියල් 10,000ක මුදලක් නැවත ලබා දීමට රජය පියවර ගෙන තිබේ.

    මෙය කෘෂිකර්ම අමාත්‍යාංශය, වැවිලි අමාත්‍යාංශය, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ඒකාබද්ධ වැඩපිළිවෙළක් වන බව පෙන්වාදුන් ඒ මහතා මේ කාර්යය වෙනුවෙන් රුපියල් බිලියන 31ක් ඇස්තමේන්තු කර තිබෙන බවද ප්‍රකාශ කළේය.

    Latest News