ශ්‍රී ලාංකිකයින් විදේශිකයින් හා විවාහවීමේදී ලබාගත යුතු වාර්තාවක් ගැන පෙත්සමක්

ජන 19, 2022

    ශ්‍රී ලාංකිකයින් විදේශීය පුරවැසියන් අතර විවාහයන් සිදු කර ගැනීමේ දී ආරක්‍ෂක අමාත්‍යාංශයේ නිෂ්කාශන වාර්තාවක් ලබා ගත යුතු බවට පනවා ඇති රජයේ නව රෙගුලාසි බල රහිත කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් වුණා.

    නීතීඥ තිෂ්‍ය වේරගොඩ මහතා විසින් මෙම පෙත්සමක් ගොනු කළා

    රෙජිස්ට්‍රාර් ජනරාල් ඩබ්ලිව්.එම්.එම්.බී. වීරසේකර, ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් එස්.එච්. මුණසිංහ මෙහි වගඋත්තරකරුවෝ ලෙස නම් කර තිබෙනවා.

    පෙත්සම්කරු පවසන්නේ ශ්‍රී ලංකාව අත්සන් කර ඇති මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනයේ පිළිගෙන ඇති අයිතියක් ලෙස සෑම පුද්ගලයෙකුටම කැමති ඕනෑම පුද්ගලයකු සමඟ විවාහ වීමට නිදහස පවතින බවයි.

    තමන් ශ්‍රී ලංකාවේ විදේශීය පුරවැසි කාන්තාවක සමඟ විවාහ වී සිටින බව ද සිය බිරිඳ ශ්‍රී ලංකාවේ ද්විත්ව පුරවැසිභාවය ලබාගෙන ඇති බවද පෙත්සම්කරු පවසයි.

    සිය බාලවයස්කාර දරුවන් දැනට විදේශ පුරවැසියන් වන බවද පෙත්සමෙන් සදහන් කර තිබෙනවා.

    ශ්‍රී ලාංකිකයින් හා විවාහ වීමට අදහස් කරන විදේශිකයන් විවාහ ලියාපදිංචියට පෙර තම විවාහය ලියාපදිංචි කිරීම සඳහා පූර්ව කොන්දේසියක් ලෙස “ආරක්ෂක නිෂ්කාශන වාර්තාවක්” ලබා ගත යුතු බවට ඉකුත් ඔක්තෝබර් මස 18වැනිදා චක්‍රලේඛයක් නිකුත් ඇති අතර මෙම රෙගුලාසිය ජනවාරි මස 01වැනිදා සිට ක්‍රියාත්මක වන බවද පෙත්සමේ සඳහන් වෙනවා.

    රෙජිස්ට්‍රාර් ජෙනරාල් වරයා විසින් නිකුත් කර තිබෙන මෙම නියෝග නීතියට පටහැනි මෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි පෙන්වා දෙන පෙත්සම්කරු එබැවින් එය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙසත් අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.

    Latest News