සෝමාවතිය රක්ෂිත වනාන්තර හෙළි කළ පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග

ජන 21, 2022

    සෝමාවතිය රක්ෂිත වනාන්තර කලාපයේ අනවසර වනාන්තර හෙළි කළ පුද්ගලයින් රැසකට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු කර ඇතැයි නීතිපතිවරයා අද අභියාචනාධිකරණයට දැනුම් දුන්නා.

    සෝමාවතිය රක්ෂිත වනාන්තර කලාපය හෙළි කිරීම සහ ඒ ආශ්‍රිතව මාර්ගයක් ඉදි කිරීමට ගෙන තිබෙන තීරණවලට එරෙහිව පරිසර යුක්ති කේන්ද්‍රය විසින් ඉදිරිපත් කළ පෙත්සමක් අද කැඳවනු ලැබූ අවස්ථාවේදී මෙම දැනුම් දීම සිදු කෙරුණා.

    සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියෙහි මෙම පෙත්සම කැඳවනු ලැබුවා.

    එහිදී රජයේ නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේ සෝමාවතිය රක්ෂිත වනාන්තර කලාපය ආශ්‍රිතව මාර්ගයක් ඉදි කිරීමට ගෙන තිබෙන තීරණය අත්හිටුවීමට කටයුතු කර ඇති බවයි.

    එමෙන්ම රක්ෂිත වනාන්තර කලාපය හෙළි පෙහෙළි කළ පුද්ගලයින් 200 කට අධික පිරිසකට එරෙහිව මේ වන විටත් නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති බවත් අනවසර පදිංචිකරුවන් 70 කට අධික පිරිසක් ඉවත් කිරීමට කටයුතු කර ඇති බවත් රජයේ නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියා.

    එම කරුණු සම්බන්ධයෙන් තමන් සෑහීමකට පත්වන බව පෙත්සම්කාර පාර්ශවය අධිකරණයට දන්වා සිටියා.

    ඉන් අනතුරුව මෙම පෙත්සම් විභාගය අවසන් කිරීමටද අභියාචනාධිකරණය නියෝග කළා.

    Latest News