බන්ධනාගාරවල විෂමාචාර පාලනයට 'ස්පීඩ් ෆෝස්'

ජන 27, 2022

    බන්ධනාගාරවල දූෂණ හා විෂමාචාර වඩාත් විනිවිධ භාවයකින් යුතුව පාලනය කිරීම සඳහා හදිසි ප්‍රතිචාර උපක්‍රමික බලකාය හෙවත් ස්පීඩ් ෆෝස් පිහිටුවන ලද බව ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න මහතා පවසයි.

    සුරක්ෂිත රටක්, විනයගරුක, ගුණගරුක සහ නීතිගරුක සමාජයක් ගොඩ නැගීම සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති ආරක්ෂක ලේකම්, ජෙනරල් කමල් ගුණරත්න මහතා ඊයේ මේ බව කියා සිටියේ අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ විශෝධන පිළිබඳ පර්යේෂණ හා පුහුණු මධ්‍යස්ථානයේ පැවති ස්පීඩ් ෆෝස් ප්‍රථම විසිර යාමේ පෙළපාලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක්වෙමින්.

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය යටතේ බන්ධනාගාරවල සිදුවන සියලුම දූෂණ හා විෂමාචාරයන් වඩාත් විනිවිධ භාවයකින් පාලනය කිරීමේ අරමුණින් බන්ධනාගාර බුද්ධි ඒකකය ප්‍රතිසංවිධානය කර මෙම බලකාය පිහිට වූ බව ආරක්ෂක ලේකම්වරයා මෙහිදී සඳහන් කළේය.

    සාමාජිකයින් 194 දෙනෙකුගෙන් යුත් මෙහි පළමු කණ්ඩායම ඊයේ විසිර ගියේය. මෙම බලකායට සේවා මුක්ත භටයින් 500 දෙනෙකු බඳවා ගැනීමට නියමිතයි. ත්‍රිවිධ හමුදාවන්ගෙන් නීත්‍යානුකූලව ඉවත් වූ නොකැලැල් සේවාවක් ඇති සේවා මුක්ත භටයින්ගෙන් මෙම බලකාය සමන්විත වන බව ද ආරක්ෂක ලේකම්වරයා කියා සිටියි.

    මෙහිදී ආරක්ෂක ලේකම්වරයා වෙත ස්පීඩ් ෆෝර්ස් බලකායේ නිල ලාංජනය පිරිනැමීම ද සිදු කෙරිණ. මාස 4ක පුහුණු කාලසීමාවේ විශිෂ්ට දක්ෂතා දැක්වූ සාමාජිකයින්ට සම්මාන පිරිනැමීම සිදු කෙරුණේ ද කමල් ගුණරත්න මහතාගේ සහභාගීත්වයෙන්.

    බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුසිත උඩුවර යන මහත්වරු සහ ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් ඇතුළු පිරිසක් ද මේ අවස්ථාවට එක්ව සිටියේය.

    Latest News