මෙරට රබර් වගාවේ සංවර්ධනයට ජාත්‍යන්තර සමාගමක අනුග්‍රහය

පෙබ 02, 2022

    වැවිලි අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ සහ ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති අතිගරු ඒරික් ලැවටු (HE) Eric Lavertu මහත්වරුන් අතර හමුවක් ඊයේ (1) බත්තරමුල්ල, සෙත්සිරිපාය II අදියරේ වැවිලි අමාත්‍ය කාර්යාල පරිශ්‍රයේ දී පැවැත්විණ.

    නවීන තාක්ෂණය උපයෝගී කරගනිමින් මෙරට කුඩා රබර් වතු හිමියන්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීම කෙරෙහි මෙහිදී දීර්ඝව සාකච්ඡා කෙරිණ.

    මෙම ව්‍යාපෘතිය සඳහා ප්‍රංශ ආර්ථික හා මුදල් අමාත්‍යාංශයේ මූල්‍ය පහසුකම් සපයනු ලැබේ. එමෙන්ම ප්‍රධාන සේවා සපයන්නා ලෙස michilin සමූහය සහ එහි අනුබද්ධිත මෙරට කැම්සෝ ආයතනය කටයුතු කරනු ලබයි.

    බඩල්කුඹුර හා මැදගම ප්‍රදේශවල කුඩා රබර්වතු හිමියන්ට, රබර් වගාවට නවීන තාක්ෂණය යොදාගත හැකි ආකාරය පිළිබඳව පුහුණුව ලබාදීමට නියමිතය. මේ සඳහා මිචිලිං ශ්‍රී ලංකා (Michelin Sri lanka) ආයතනයේ සහයෝගය ලබාගැනීමට ද නියමිතය.

    ප්‍රංශ රජයේ ආධාර මත දැනට එවැනි ව්‍යාපෘතියක් මොනරාගල ප්‍රදේශයේ ක්‍රියාත්මක අතර එමඟින් කුඩා රබර් වතු හිමියන් 6000 දෙනෙකු ප්‍රතිලාභ ලබති. එම ව්‍යාපෘතියේ ප්‍රගතිය පිළිබදව අමාත්‍යවරයා විසින් මෙහිදී ප්‍රංශ තානාපතිවරයා දැනුවත් කරන ලදී.

    එමෙන්ම මෙරට රබර් වගාවේ සංවර්ධනය වෙනුවෙන් ප්‍රංශ රජය දක්වනු ලබන සහයෝගීතාවය පිළිබඳව මෙහිදී අමාත්‍යවරයා ප්‍රංශ තානාපතිවරයාට සිය ස්තූතිය පළකළහ.

    සමාගම් වතු ප්‍රතිසංස්කරණ, තේ හා රබර් ආශ්‍රිත භෝග වගා සහ කර්මාන්තශාලා නවීකරණය හා තේ හා රබර් අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය කනක හේරත්, වැවිලි අමාත්‍යංශ ලේකම් රවීන්ද්‍ර හේවාවිතාරණ, රාජ්‍ය අමාත්‍යංශ ලේකම් තිලකරත්න බණ්ඩා මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

    Latest News