මාධ්‍යවේදිනීය ඝාතනයේ විත්තිකරුට අභියාචනාධිකරණයෙන් ද මරණ දණ්ඩනය

පෙබ 23, 2022

    2014 වසරේ බත්තරමුල්ලේ පිහිටි සිය නිවසේදී මාධ්‍යවේදිනී මෙලීසියා ගුණසේකර ඝාතනය කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් වරදකරු කල පින්තාරු කරුවෙකුට කොළඹ මහාධිකරණය මගින් නියම කර තිබූ මරණීය දණ්ඩනය අභියාචනාධිකරණය විසින් ස්ථිර කළා.

    සම්පත් අබේකෝන් සහ පී.කුමාරන් රත්නම් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය ලබා දුන්නා.

    2014 වසරේ පෙබරවාරි මස දෙවනදා බත්තරමුල්ල, සුභූතිපුර ප්‍රදේශයේ පදිංචිව සිටි සිය නිවසේ දී මාධ්‍යවේදිනී මෙලීසියා ගුණසේකර ගේ නිවසට අයුතු ලෙස ඇතුළු වීම, කොල්ලකෑම සහ උල් ආයුධයකින් ඇන ඇය ඝාතනය කිරීම යන චෝදනා යටතේ නීතිපතිවරයා විසින් අරුලානන්ද ඇන්තනී රැම්සන් ජෝර්ජ් නමැති විත්තිකරුට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කළා.

    දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව 2017 වසරේ ජූලි මස 5 වනදා කොළඹ මහාධිකරණය විසින් විත්තිකරු අදාල චෝදනාවලට වරදකරු කරමින් ඔහුට මරණීය දණ්ඩනය සහ අයුතු ඇතුළුවීම හා කොල්ලකම් යන චෝදනා වලට සිර දඬුවම් නියම කරනු ලැබුවා.

    එම දඬුවමින් තමන්ව නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා පසුව විත්තිකරු විසින් අභියාචනාධිකරණයට ඇපෑලක් ඉදිරිපත් කළා.

    එම අභියාචනා විභාගයේදී විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අභියාචනාධකරණය හමුවේ ප්‍රකාශ කර තිබුණේ විත්තිකරුට එරෙහිව පැමිණිල්ල විසින් ඉදිරිපත් කළ සාක්ෂි පරස්පර බවයි.

    එමෙන්ම නඩු විභාගයේ දී විත්ති පාර්ශවය විසින් ඉදිරිපත් කළ කරුණු විනිසුරුවරයා විසින් සැලකිල්ලට භාජනය කර නොමැති බවටත් එම නීතිඥවරයා අධිකරණය හමුවේ තර්ක කර තිබුණා.

    නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් මහතා අභියාචනාධිකරණය හමුවේ සඳහන් කර තිබුණේ විත්තිකරුට එරෙහිව කොළඹ මහාධිකරණය විසින් දුන් තීන්දුව නීත්‍යනුකූල බවයි.

    විත්තිකරුට එරෙහිව එල්ල කර තිබූ චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කිරීමට පැමිණිල්ල මහාධිකරණය හමුවේ සමත් වූ බවත් ඔහු පෙන්වා දුන්නා.

    විත්තිකරු මරණකාරියගේ නිවසට අයුතු ලෙස ඇතුළු වන ආකාරය වීඩියෝ සාක්ෂිවලින් තහවුරු වී ඇති බවත් විත්තිකරුගේ ඇඳුම්වල මරණකාරියගේ ලේ පැවරී තිබූ බව ඩී.එන්.ඒ පරීක්ෂණවලින් ඔප්පු වූ බවත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණය හමුවේ පෙන්වා දුන්නා.

    එමෙන්ම විත්තිකරු අත්අඩංගුවට ගනු ලැබූ අවස්ථාවේදී ඔහු සතුව මරණකාරියගේ ජංගම දුරකථනය තිබී පොලිසියට හමුවූ බවත් පෙන්වා දුන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් මහතා විත්තිකරුට එරෙහිව මහාධිකරණය හමුවේ ඉදිරිපත් කර ඇති චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී ඇති හෙයින් විත්තිකරුගේ අභියාචනය නිෂ්ප්‍රභ කරන ලෙසත් අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටියා.

    ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විත්තිකරුට එරෙහිව කොළඹ මහාධිකරණ විනිසුරුවරයා විසින් දඬුවම් ප්‍රකාශයට පත් කිරීමේදී නිසි පටිපාටිය අනුගමනය කර ඇතැයි තීන්දු කරමින් විත්තිකරුගේ අභියාචනය නිෂ්ප්‍රභ කිරීමට ද නියෝග කළා.

    Latest News