බංග්ලාදේශ, භූතාන සහ නේපාල විදේශ අමාත්‍යවරු ජනපති හමුවෙති...

මාර් 30, 2022

    "බිම්ස්ටෙක්" සමුළුවට සහභාගීවීම සඳහා මෙරටට පැමිණ සිටින බංග්ලාදේශය, භූතානය සහ නේපාලය යන රටවල විදේශ අමාත්‍යවරු අද (30) දහවල් ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමුවූහ.  

    කොළඹ පැවති,පස්වන බිම්ස්ටෙක් සමුළුවට සහභාගීවීම පිළිබඳ ජනාධිපතිතුමා අමාත්‍යවරුන් වෙත සිය ස්තුතිය පළ කළේය. ඉතා ඉහළ අන්දමින් සමුළුව පැවැත්වීමට සත්කාරකත්වය දැක්වීම පිළිබඳ ප්‍රසාදය පළ කළ අමාත්‍යවරු ජනාධිපතිතුමා සමුළුව අමතා කළ ප්‍රකාශය ඇගයීමට ලක් කළහ. කොවිඩ් වසංගතය හේතුවෙන් තම රටවල ආර්ථිකයට සිදු වූ බලපෑම අමාත්‍යවරුන් විසින් පෙන්වා දෙනු ලැබිණ.  

    ශ්‍රී ලංකාවේ වෛද්‍ය අධ්‍යපනය ඉතා ඉහළ මට්ටමක පවතින බව සඳහන් කළ භූතාන විදේශ අමාත්‍ය ටැන්ඩි ඩෝර්ජි (TandiDorji) මහතා තම රටේ සිසුන් වැඩි සංඛ්‍යාවකට මෙරට වෛද්‍ය අධ්‍යාපනය හැදෑරීම සඳහා අවස්ථාවක් ලබාදෙන ලෙස ඉල්ලා සිටියේය. විදේශ සිසුන්ට වාර්ෂිකව නිකුත් කෙරෙන වීසා බලපත්‍ර සඳහා සහනයක් ලබාදෙන ලෙස අමාත්‍යවරයා කළ ඉල්ලීම ජනාධිපතිතුමාගේ විශේෂ අවධානයට යොමු විය.  භූතානය කාබනික කෘෂිකර්මාන්තයට නැඹුරු වූ රටකි. එහි ඵලදායීතාවය ඩොර්ජි මහතා ජනාධිපතිතුමාට පෙන්වා දුන්නේය.  

    නේපාල විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය නාරායන් ඛඩ්කා (Narayan Khadka) මහතා දෙරට අතර 65 වසරක රාජ්‍ය තාන්ත්‍රික සබඳතාව සිහිපත් කළේය. පොදු, සංස්කෘතික හා ආගමික උරුමයන් ඇති රටවල් වශයෙන් දෙරට අතර සංස්කෘතික හුවමාරුව දිරිමත් කිරීමේ වැදගත්කම පෙන්වා දුන් නාරායන් මහතා සිය රට විවෘතව ඇති හෙයින් බෞද්ධ ආගමික සංචාරකයින්ට එරටට පැමිණිය හැකි බව පැවසීය.  

    බංග්ලාදේශය ළඟා කරගෙන ඇති ආර්ථික ප්‍රගතිය පිළිබඳ ජනාධිපතිතුමා එරට විදේශ අමාත්‍ය ඒ. කේ. අබ්දුල් මොමන් (A. K. Abdul Momen) මහතා සමග සිය සතුට පළ කළේය. ශ්‍රී ලාංකිකයන් 50,000කට අධික පිරිසක් බංග්ලාදේශයේ රැකියාවල නිරතව සිටිති. ඔවුන්ගෙන් එරට ආර්ථිකයට ලැබෙන දායකත්වය අමාත්‍යවරයාගේ පැසසුමට ලක් විය.  

    ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් සහ ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග යන මහත්වරු මෙමඅවස්ථාවට එක්ව සිටියහ.

    HE2 900px 22 03 30

    HE3 900px 22 03 30

    Latest News