ඒ අනුව මෙම පෙත්සම් සම්බන්ධයෙන් විරෝධතා තිබේ නම් ගොනුකරන ලෙස දන්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එම පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස නම්කර තිබූ ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත්, ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් ජගත් ඩයස්, විදුලි සංදේශය නියාමන කොමිසම, පොලිස්පති, නීතිපති ඇතුළු පාර්ශව වෙත අධිකරණය නොතීසි නිකුත් කළා.
මුර්දු ප්‍රනාන්දු , අචල වෙංගප්පුලි සහ මහින්ද සමයවර්ධන යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය කළා.
ඒ අනුව මෙම පෙත්සම්වලට අදාළ විරෝධතා තිබේ නම් ඒවා මැයි මස 20 වන දා හෝ ඊට පෙර ගොනුකරන ලෙස නියෝග කළ විනිසුරු මඩුල්ල ඊට අදාළ ප්‍රතිවිරෝධතා තිබේ නම් ඒවා ජුනි මස 03 වන දා ගොනු කරන ලෙසත් නියෝග කළා.
අනතුරුව පෙත්සම ජුලි මස 15 වනදා විභාගය සඳහා කැඳවන ලෙසද නියෝග කෙරුණා.
මෙම පෙත්සම් සලකා බැලීම ආරම්භ වූ අවස්ථාවේ දී පෙත්සමක් ඉදිරිපත් කර තිබූ මාධ්‍යවේදියෙකු වන ආර්.සී.කිව්. රේමන්ඩ් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එම්. ඒ. සුමන්තිරන් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ජනාධිපතිවරයා විසින් ඉකුත් අප්‍රේල් මස 01 වනදා මහජන ආරක්ෂක පනත යටතේ දිවයින පුරා හදිසි නීතිය ප්‍රකාශයට පත් කළ බව සඳහන් කළා.
එම හදිසි නීතිය ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව අප්‍රේල් මස 02 වනදා දිවයින පුරා ඇදිරි නීතිය පැනවු අතර අප්‍රේල් මස 03 වනදා ආරක්ෂක අමාත්‍යාංශයේ ඉල්ලීම මත විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් සමාජ මාධ්‍ය ජාල අවහිර කෙරුණු බව ජනාධිපති නීතිඥවරයා සඳහන් කළා.
මෙවැනි නියෝගයක් විදුලි සංදේශ නියාමන කොමිසම වෙත නිකුත් කිරීමට බලය තිබෙන්නේ විෂය භාර අමාත්‍යවරයාට පමණක් යැයි සදහන් කළ ජනාධිපති නීතිඥවරයා සමාජ මාධ්‍ය ජාල අවහිර කරන ලෙස ආරක්ෂක ලේකම් විසින් විදූලි සංදේශ නියාමන කොමිසම වෙත කල නියෝගය මුලුමනින්ම නීතියට පටහැනි බව පෙන්වා දුන්නා.
මෙම සමාජ මාධ්‍ය අවහිර කිරීමේ ක්‍රියාවලිය යලි සලකා බලන ලෙස එවක අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් ද සමාජ මාධ්‍ය ජාල ඔස්සේ පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කර තිබු බව ද ජනාධිපති නීතිඥවරයා සඳහන් කළා.
ජනාධිපතිවරයාට ධුරයෙන් ඉවත් වන ලෙස ඉල්ලා රටපුරා මතුවී තිබෙන උද්ගෝෂණ උත්සන්න වෙමින් තිබෙන අවස්ථාවක එය මැඩ පැවැත්වීම සඳහා ජනාධිපති වරයා විසින් මෙම හදිසි නීතිය ප්‍රකාශයට පත් කළ බවත් එය මහජන යහපත උදෙසා සිදුකරන ලද්දක් නොවන බවත් ජනාධිපති නීතිඥවරයා පැවසුවා.
ජනාධිපති වරයා විසින් හදිසි නීතිය ප්‍රකාශයට පත් කළ විගසම එය පාර්ලිමේන්තුවේ අනුමැතිය සදහා ඉදිරිපත් කළ යුතු වුවද එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකොට අප්‍රේල් මස 05 වනදා එය ඉවත් කර ගැනීමට කටයුතු කෙරුණු බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කළා.
එබැවින් ජනාධිපතිවරයා විසින් හදිසි නීතිය ප්‍රකාශයට පත් කිරීම, ඇදිරි නීතිය පැනවීම සහ ආරක්ෂක අමාත්‍යාංශයේ ඉල්ලීම මත විදුලි සංදේශ නියාමන කොමිසම විසින් සමාජ මාධ්‍ය ජාල අවහිර කිරීම නීතියට පටහැනි බවත් ඒ තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර තිබෙන මූලික අයිතිවාසිකම් උල්ලංගනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් ජනාධිපති නීතිඥ සුමන්තිරන් මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියා.
හදිසි නීති රෙගුලාසි අභියෝගයට ලක් කරමින් තවත් පෙත්සම් තුනක් ඉදිරිපත් කර තිබූ මාධ්‍යවේදී රසික ජයකොඩි, මානව හිමිකම් ක්‍රියාකාරීනියක වන ශෂී වින්ස්ටර් සහ ලිහිණි ප්‍රනාන්දු යන අය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුද අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කළා.
නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් රජීව ගුණතිලක මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත් කිරීමට යෙදුණු හදිසි නීති රෙගුලාසි අධිකරණය හමුවේ අභියෝගයට ලක් කළ නොහැකි බව සඳහන් කළා.
මෙම රෙගුලාසි සම්බන්ධයෙන් ජනාධිපති වරයා පාර්ලිමේන්තුවට පමණක් වගකීමට බැඳී සිටින බව කී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා මෙම හදිසි නීති රෙගුලාසිවල නීත්‍යානූකූල භාවය පිළිබඳව පරීක්ෂා කිරීමේ බලය පැවරී තිබෙන්නේ පාර්ලිමේන්තුවට පමණක් බව සඳහන් කළා.
මහජන ආරක්ෂක පනත යටතේ ජන ජීවිතයේ පැවැත්වීමට සහ නීතියේ ආධිපත්‍යයට තර්ජනයක් එල්ල වී ඇතැයි ජනාධිපතිවරයා හැගී යන අවස්ථාවක හදිසි නීතිය ප්‍රකාශයට පත් කිරීමට ජනාධිපතිවරයාට හැකියාව තිබෙන බවත් ඔහු සඳහන් කළා.
සමාජ මාධ්‍ය ජාල අවහිර කිරීම සම්බන්ධයෙන් එල්ල වූ චෝදනාවලට පිළිතුරු දුන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව භාර අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති වරයා කටයුතු කරන අතර එම කොමිසම වෙත නියෝග නිකුත් කිරීමට ජනාධිපතිවරයාට බලය තිබෙන බවත් පෙන්වා දුන්නා.
එබැවින් ජනාධිපතිවරයා විසින් මහජන ආරක්ෂක පනත යටතේ නිකුත් කළ නියෝග තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර තිබෙන මූලික අයිතීන් උල්ලංඝනය වීමක් සිදු නොවන බවත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා තර්ක කර සිටියා.
ඉදිරිපත්වූ සියලු කරුණු සලකා බැලීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළා