ලෝක වෙළෙඳ පොලේ බොර තෙල් බැරලයක මිල යළි ඉහළට...

අප්‍රේ 18, 2022

    ලෝක වෙළෙඳ පොලේ බොර තෙල් බැරලයක මිල යළි ඉහළ ගොස් තිබෙනවා.

    බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල අද සටහන් වූයේ ඩොලර් 112.79ක් ලෙසයි. එය සති තුනකට පසුව වාර්තා වූ ඉහළ අගයයි. යුක්‍රේන අර්බුදය උත්සන්නවීමත් සමඟ අමෙරිකාව ඇතුළු බටහිර රටවල් රුසියාවට එරෙහිව දැඩි ආර්ථික සම්බාධක පනවා තිබෙනවා. ඒ අනුව, රුසියාවෙන් තෙල් ආනයනය අත්හිටුවීමට අමෙරිකාව තීරණය කළා. නමුත්, යුරෝපානු සංගමයට අයත් රටවල් ඊට එකඟ වූයේ නැහැ. යුරෝපානු රටවල ප්‍රධානතම තෙල් සැපයුම්කරුවා රුසියාව වීම ඊට හේතුවයි. එමෙන්ම බොරතෙල් ඉල්ලුමට සරිලන සැපයුමක් ලබාදීමට ඔපෙක් සංවිධානයට නොහැකිවීම ද තෙල් මිල ඉහළ යාමට තවත් හේතුවක්.

    රුසියාවට ලොව තෙල් සැපයුමේ දෙවැනි ස්ථානය හිමිව තිබෙනවා. මිල පාලනයට ලොව තෙල් සැපයුමේ ප්‍රමුඛයා වන සෞදි අරාබිය ඇතුළු ඔපෙක් සංවිධානයට අයත් රටවල් පසුගිය සති කිහිපයේ පියවර ගත්තා. එම නිසා බොරතෙල් මිල යම් පාලනයක පැවතුණත්, යුක්‍රේනය අර්බුදය හේතුවෙන් තෙල් මිල නැවතත් ඉහළ ගොස් තිබෙනවා. පවතින තත්වය හමුවේ බොරතෙල් බැරලයක මිල තවදුරටත් ඉහළ යා හැකි බව විශ්වාස කෙරෙනවා.

    Latest News