සා.පෙළ උපකාරක පන්ති ගැන දැනුම්දීමක්

මැයි 18, 2022

    මෙවර අ‍පොස සා‍.පෙළ විභාගයට අදාළ උපකාරක පන්ති පැවැත්වීම හා ඊට අදාළ වෙනත් කටයුතු ලබන සිකුරාදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් කළයුතු බව, ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

    එය ඊයේ මධ්‍යම රාත්‍රියෙන් අවසන් වන බවට මීට පෙර එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබිණ.

    පසුගිය සති දෙකක පමණ කාලය තුළ රටේ පැවති අයහපත් වාතාවරණය හේතුවෙන් දෙමාපියන්, ගුරුවරුන්, විදුහල්පතිවරුන් සහ විභාග අපේක්ෂකයන් කළ ඉල්ලීම් සැළකිල්ලට ගෙන විභාග අයඳුම්කරුවන්ට යම් සාධාරණයක් ඉටු කිරීමේ අරමුණින් එම දිනය සංශෝධනය කළ බවයි විභාග දෙපාර්තමේන්තුව පවසන්නේ.

    අනුමාන විෂයානුබද්ධ දේශන, සම්මන්ත්‍රණ හා වැඩමුළු පැවැත්වීම අනුමාන ප්‍රශ්නපත්‍ර මුද්‍රණය, බෙදාහැරීම හෝ විද්‍යුත් ක්‍රම ඔස්සේ බාගත කිරීමට ඉඩ සැළසීම, විභාග ප්‍රශ්න පත්‍රවල ප්‍රශ්න ලබාදෙන බවට හෝ ඒ හා සමාන ප්‍රශ්න ලබාදෙන බවට පෝස්ටර්, බැනර්, අත්පත්‍රිකා ආදී ප්‍රචාර විද්‍යුත් මාධ්‍ය, මුද්‍රිත මාධ්‍ය හා සමාජ ජාලා ඔස්සේ කවරාකාරයෙන් හෝ ප්‍රසිද්ධ කිරීම, සන්තකයේ තබා ගැනීම සපුරා තහනම් බව ද විභාග දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.

    එය සම්පූර්ණ විභාගය අවසන් වන තෙක් බලාත්මක වෙයි.

    Latest News