පා. ම. ලලිත් වර්ණකුමාර අහසට වෙඩි තැබීමක් ගැන විමර්ශනයක්

ජූලි 08, 2022

    හොරණ දොඹගොඩ ප්‍ර‍දේශයේ නිවසක් ඉදිරිපිට දී පාර්ලිමේන්තු මන්ත්‍රී ලලිත් වර්ණකුමාර මහතා සිදු කළ වෙඩි තැබීමක් සම්බන්ධයෙන් අඟුරුවාතොට‍ පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

    පොලිසිය පවසන්නේ, අද අලුයම 3.45 ට පමණ එම වෙඩි තැබීම සිදුව ඇති බවයි.

    දො‍ඹගොඩ ප්‍රදේශයේ නිවසක පැවති ධර්මදේශනා පිංකමකට සහභාගීවීම සඳහා ලද ආරාධනාවකට අනුව, ඊයේ රාත්‍රී 11.00 ට පමණ මන්ත්‍රීවරයා නිවසට ගොස් තිබෙනවා. එහිදී, බීමත්ව සිටි තවත් පිරිසක් සමග ඇති කර ගත් බහින් බස් වීමකින් පසු අලුයම් කාලයේ මන්ත්‍රීවරයා නිවසින් පිටව ගොස් ඇති බවයි, පොලිසිය පවසන්නේ. ඉන් විනාඩි 15 කට පමණ පසු යළි නිවස ඉදිරිපිටට පැමිණ ඇති මන්ත්‍රීවරයා, ඔහුට නිකුත් කර ඇති පිස්තෝලයෙන් අහසට වෙඩි ප්‍රහාර තුනක් එල්ල කොට, පිටව ගොස් ඇති බව, පොලිසිය පවසනවා. සිද්ධියෙන් පසු නිවෙස් හිමියන් අඟුරුවාතොට පොලිසියට පැමිණිලි කළා. වෙඩි තැබීමෙන් දේපළ වලට හානියක් සිදු වී නොමැති බවයි, පොලිසිය පවසන්නේ.

    Latest News