පසුගිය රජය සහ මහ බැංකු බලධාරීන්, IMF සහය අනවශ්‍ය යැයි සලකා කටයුතු කර ඇති බව මහ බැංකු අධිපති පවසයි...

ජූලි 20, 2022

    පසුගිය රජය සහ මහ බැංකු බලධාරීන්, අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ සහය ශ්‍රී ලංකාවට අවශ්‍ය නොවේ යැයි සලකා කටයුතු කර ඇති බව, මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා සඳහන් කර සිටිනවා.

    සී.එන්.එන්. මාධ්‍ය ජාලය සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී ඔහු මේ බව සඳහන් කර සිටියා.  ‍වීරසිංහ මහතා මෙහිදි සඳහන් කර සිටියේ, මේ වනවිට මහ බැංකුව පැහැදිලි වැඩසටහනක් ක්‍රියාත්මක කරමින් සිටින බවයි. ශ්‍රී ලංකාවට ස්ථාවර රජයක් පත් වූ වහාම, ඒ සඳහා සහය දීමට මහ බැංකුව සූදානමින් සිටින බව ද ඒ මහතා මෙහිදී සඳහන් කළා.

    අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ එකඟතාවයකට පැමිණෙන තෙක් ශ්‍රී ලංකාව පත්ව ඇති ආර්ථික අපහසුතාවලින් ගොඩඒම සඳහා, නව රජයට හිතවත් රටවල සහයෝගය ලබාගැනීමට සිදුවනු ඇති බවයි, ඔහු සඳහන් කරන්නේ. ඉදිරි මාස කිහිපය ශ්‍රී ලංකාවේ ජනතාවට ඉවසීමෙන් කටයුතු කිරීමට සිදුවන බවයි ඔහු පවසන්නේ. නිසි ආකාරයට කටයුතු සිදුවූයේ නම්, තව මාස 5 කින් පමණ මෙම අර්බුදයෙන් ගොඩඒමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබෙනු ඇති බවට ඔහු විශ්වාසය පළ කර සිටියා.

    Latest News