ජලාශවල ජල මට්ටම ඉහළට; නාය යෑමේ අනතුරු ඇඟවීම් තවදුරටත්

සැප් 01, 2022

    දිවයිනට බලපා ඇති වැසි සහිත කාලගුණික තත්ත්වයත් සමඟ කලු, ගිං සහ නිල්වලා ගංඟාවල ජල මට්ටම ඉහළ ගොස් ඇති බව, වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා අංශයේ අධ්‍යක්ෂ එස්. පී. සී. සුගීෂ්වර පවසයි.

    අධික වර්ෂාවත් සමග රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර, කුරුවිට, ඇලපාත සහ කළුතර දිස්ත්‍රික්කයේ පාලින්දනුවරට නිකුත් කළ නාය යෑමේ අනතුරු ඇඟවීම් නිවේදනය තවදුරටත් ක්‍රියාත්මකයි.

    මේ අතර ඇද හැලෙන අධික වර්ෂාව හමුවේ දැදුරුඔය සහ කුකුලේ ගඟේ වාං දොරටු තවදුරටත් විවෘත කර තිබේ.

    කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වයංක්‍රීය වර්ෂාමානවල දත්ත අනුව අද අලුයම 5.00 වනවිට දිවයිනේ වැඩිම වර්ෂාපතනය රත්නපුර ප්‍රදේශයෙන් වාර්තා විය. එම අගය මිලිමීටර් 194.7ක්.

    රත්නපුර ගිරිමලේ ප්‍රදේශයට හා කළුතර පාලින්ද නුවරට ද මිලිමීටර් 192 කට අධික වර්ෂාපතනයක් ලැබී තිබේ.

    ඊයේ උදෑසන (31) 8.30 සිට අද අලුයම 5.00 දක්වා කාලය තුළ දිවයිනේ ප්‍රදේශ රැසකට මිලිමීටර් 100 ඉක්ම වූ වැසි ඇද හැලී ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ දත්තවල සඳහන්.

    පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය තවදුරටත් අපේක්ෂා කරන බවත් බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    Latest News