මධ්‍යසාර නිෂ්පාදකයන්ම සුරා අලෙවිසැල් පවත්වාගෙන යෑම ගැන ඇමතිගේ අවධානය

ඔක් 20, 2022

    නීතියට පිටුපා ඇතැම් මධ්‍යසාර නිෂ්පාදකයන් විසින් ම මධ්‍යසාර අලෙවිසැල් පවත්වාගෙන යාම සහ එමගින් රජයට අය විය යුතු බදු මුදල් අහිමි වීම පිළිබඳ වාර් තාවක් ලබා දෙන ලෙස මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාට දැනුම් දි තිබේ.

    ප්‍රමිතියෙන් තොර මධ්‍යසාර සමාජ ගත වීමේ අවදානම සහ ඇතැම් මධ්‍යසාර නිෂ්පාදකයන් වෙනත් ව්‍යාපාර නාම යටතේ සහ ඥාතීන්ගේ හිමිකාරීත්වය යටතේ අලෙවිසැල් පවත්වාගෙන යාම පිළිබඳ ඊයේ (19) මුදල් අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවක දී අනාවරණ විය. මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා, සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා සහ මධ්‍යසාර බලපත්‍රලාභීන්ගේ සංගමය අතර මෙම සාකච්ඡාව පැවැත්විණ.

    මීට අමතරව බලපත්‍ර නීති උල්ලංඝනය කරමින් අලෙවිසැල් පවත්වාගෙන යාම පිළිබඳවද අමාත්‍යවරයාගේ අවධානය යොමු විය. බලපත්‍රලාභියකුට පවත්වාගෙන යා හැක්කේ අලෙවිසැල් තුනක් පමණක් වන අතර දිස්ත්‍රික්කයක් තුළ පවත්වාගෙන යා හැක්කේ අලෙවිසැල් දෙකක් පමණි. එහෙත් ඇතැම් බලපත්‍රලාභීන් විවිධ උපක්‍රම භාවිත කරමින් එම සීමා උල්ලංඝනය කරන බව මෙහි දී අනාවරණ විය.

    ඒ අනුව මේ සියලු කරුණු සම්බන්ධයෙන් මසක් ඇතුළත වාර්තාවක් ලබා දෙන ලෙස අමාත්‍යවරයා සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. ජේ. ගුණසිරි මහතා වෙත උපදෙස් ලබා දුන්නේ ය. මෙම තත්ත්වයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා පවතින සුරා බදු පනතටි ප්‍රතිපාදන එක් විය යුතු නම් එලඹෙන සුරාබදු පනත් සංශෝධනයේ දී ඊට අවශ්‍ය පියවර ගැනීමට සූදානම් බව ද සියඹලාපිටිය මහතා පැවැසීය.

    මේ අතර ශ්‍රී ලංකාවේ රා නිෂ්පාදනය සම්බන්ධයෙන්ද මෙහි දී අවධානය යොමු විය. ශ්‍රී ලංකාවේ දෛනික රා අවශ්‍යතාව ලීටර් 160,000ක් පමණ වුව ද දෛනික රා නිෂ්පාදනය දැක්වෙන්නේ ලීටර්  45,000ක් ලෙස ය.

    එබැවින් මෙම හිග රා ප්‍රමාණය සැපයීම සඳහා ඇතැම් පුද්ගලයන් විවිධ නීති විරෝධී සහ සෞඛ්‍ය සම්පන්න නොවන ක්‍රමවේද භාවිතා කරන බවයි එහි දී අනාවරණ වූයේ. එබැවින් රාවල ප්‍රමිතිය සම්බන්ධයෙන් කටයුතු කිරීමේ අවශ්‍යතාව අමාත්‍යවරයා අවධාරණය කළේ ය.  

    Last modified on බ්‍රහස්පතින්දා, 20 ඔක්තෝබර් 2022 10:40

    Latest News