‍පූර්ණ ශ්‍රවණ හා කථන ආබාධ සහිත අයට ප්‍රථම වරට රියදුරු බලපත්‍ර

නොවැ 16, 2022

    පූර්ණ ශ්‍රවණ හා කථන ආබාධ සහිත පුද්ගලයින් සඳහා මෙරට තුළ ප්‍රථම වරට රියදුරු බලපත්‍ර ලබා දීම අද සිට ක්‍රියාත්මකයි.

    එහි නියමු ව්‍යාපෘතිය, ගම්පහ දී අද ආරම්භ වුණා. ඒ, මාස තුනක කාලයක් සඳහා යි. පසුව මෙම වැඩසටහන දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කිරීමට ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යාංශය සැලසුම් කර තිබෙනවා.

    අද ආරම්භ වූ වැඩසටහනේ දී ප්‍රථමයෙන් සැහැල්ලු වාහන රියදුරු බලපත්‍ර ලබා දීමේ ක්‍රමවේදය යටතේ ලිඛිත විභාගය සමත් ගම්පහ දිස්ත්‍රික්කයේ 50 දෙනෙකුට පුහුණු බලපත්‍ර නිකුත් කෙරෙනවා. ඒ අනුව, මාස 3 ක කාලයක් පුහුණු බලපත්‍ර යටතේ සැහැල්ලු වාහන ධාවනයට අවසර හිමි වනවා. අනතුරකදී හෝ මහ මඟදී පොලිස් නිලධාරියෙකු සමග සම්බන්ධ වීමට අවශ්‍ය අවස්ථාවේ දී, දුරකථන තාක්ෂණයේ දී හෝ වෙනත් ක්‍රමවේදයක් යටතේ භාෂා පරිවර්තක අංශයක් සම්බන්ධ කර ගැනීම රියදුරන්ට අනිවාර්ය යයි. අදාළ රියදුරන් පදවන වාහන, අනෙකුත් වාහනවලින් වෙන් කර ගැනීම සඳහා එම වාහනවල ඇලවීමට ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යාංශය විශේෂ ස්ටිකරයක් හඳුන්වා දී තිබෙනවා.

    Latest News