එක්සත් ජාතීන්ගෙන් - රජයේ සංහිඳියාවට කොළ එළියක්

මාර් 21, 2019

    ශ්‍රී ලංකාවේ සංහිඳියාව වගවීම හා මානව හිමිකම් තහවුරු කිරීම සඳහා වන නව යෝජනාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ දී මීට මඳ වේලාවකට පෙර ඡන්දයකින් තොරව සම්මත විය.

    ශ්‍රී ලංකා රජය මානව හිමිකම් තහවුරු කිරීමෙහිලා ගෙන ඇති ක්‍රියාමාර්ග පිලිබඳව මෙහිදී අන්තර් ජාතික ප්‍රජාවේ දැඩි ප්‍රසාදය පළ කෙරිණ. අංක 40/1 යෝජනාව ඉදිරිපත් කරනු ලැබුවේ, බ්‍රිතාන්‍ය ප්‍රමුඛ රටවල් 4ක කණ්ඩායමක් විසින්. කැනඩාව, ජර්මනිය, මොන්ටිනීග්‍රෝ හා උතුරු මැසිඩෝනියාව යන රාජ්‍ය එම කණ්ඩායමට අයත් වේ.

    යෝජනාව ඉදිරිපත් කළේ, මානව හිමිකම් කවුන්සිලයේ බ්‍රිතාන්‍ය නියෝජිතයා විසින්. 2015 වසරේ ශ්‍රී ලංකාවේ සම අනුග්‍රාහකත්වයෙන් ඉදිරිපත් කෙරුණු යෝජනාවේ දිගුවක් ලෙස මෙය ඉදිරිපත් කරන බව, ඔහු පෙන්වා දුන්නේය. රජය ගෙන ඇති සාධනීය ක්‍රියාමාර්ග පැසසුමට ලක් කෙරෙන අතරම මානව හිමිකම් හා වගවීමේ ක්‍රියාවලිය සම්බන්ධව ඉදිරි කටයුතු සඳහා අවශ්‍ය නිර්දේශ ඊට ඇතුළත් වේ.

    මෙහිදී පිළිතුරු දේශනය සිදු කළේ, විදේශ අමාත්‍ය තිලක් මාරපන මහතා විසින්. මෙම යෝජනාවට සම අනුග්‍රාහකත්වය දැක්වීම තුළින් ශ්‍රී ලංකා රජය පෙන්නුම් කරන්නේ, සංහිඳියාව හා මානව හිමිකම් සඳහා ඇති දේශපාලනික කැපවීම බව, විදේශ අමාත්‍යවරයා කියා සිටියේය. සියලු කටයුතු සිදු කෙරෙන්නේ ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව බව, අමාත්‍ය තිලක් මාරපන මහතා මෙහිදී පැවසීය.

    Last modified on සිකුරාදා, 22 මාර්තු 2019 11:04

    Latest News