උ. පෙළ ලියු දරුවන්ට සාධාරණයක් ඉටුවෙයිද ? 

අප්‍රේ 12, 2023

    විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය ආරම්භ කර තිබූ වැඩ වර්'ජනය තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

    එහෙත්, උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම් සඳහා තවදුරටත් සහභාගී නොවන බවයි, එම සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ.  ලබන 17 වැනිදා සිට සුපුරුදු පරිදි රාජකාරි ආරම්භ කරන බව, ඔවුන් පවසනවා. පවතින ගැටලු විසඳීමට අධ්‍යාපන අමාත්‍යවරයා පොරොන්දු වීමත් සමග මෙම තීරණය ගත් බවයි, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය නිවේදනය කරන්නේ.

    රජයේ පියවර අඛණ්ඩව නිරීක්ෂණය කර බවත්, සාධාරණ කාල රාමුවක් තුළ පොරොන්දු ඉටු නොකළහොත්, යළි වැඩවර්ජනය ආරම්භ කරන බවත්, ඔවුන් ප්‍රකාශ කරනවා. රජය පනවා ඇති උපයන විට අය කරන බදු ප්‍රතිපත්තියට එරෙහිව ඔවුන් පසුගිය මාර්තු 9 වැනිදා සිට වැඩවර්ජනයක් ආරම්භ කළා.  

    විශ්වවිද්‍යායල අචාර්යවරුන්ගේ සමිති සම්මේලනය සමග පසුගිය මාස එකහමාර තුළ සාකච්ඡා වට කිහිපයක් පවත්වා ඔවුන් ඉදිරිපත් කළ ගැටලු කිහිපයකට විසඳුම් ලබා දුන් බව, අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. විශ්වවිද්‍යාල දේශන යළි ආරම්භ කිරීමට ගත් තීරණ සම්බන්ධයෙන් ප්‍රසාදය පළ කරන අධ්‍යාපන අමාත්‍යාංශය උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු කඩිනමින් ආරම්භ කිරීමට මැදිහත් වන මෙන්, එම සමිති සම්මේලනයෙන් ඉල්ලා සිටිනවා.

    ඔවුන්ගේ ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීමට අවශ්‍ය නම්, ඉදිරි ඕනෑම දිනක ඊට සූදානම් බව ද අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙනවා.

    Latest News