නිර්මල බුද්ධ ධර්මයෙහි චිරස්තිථිය සාක්ෂාත් කරනු වස් උතුම් ත්‍රිපිටකය ධර්ම දායාදය ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට ජනාධිපතිතුමා පසුගියදා කටයුතු කළ අතර, ඉන් නොනැවතී උතුම් ත්‍රිපිටකය තවත් වසර දහස් ගණනක් සුරක්ෂිත කරමින් ලෝක උරුමයක් බවට පත් කිරීමට පියවර ගෙන තිබේ.
මෙම ඓතිහාසික කටයුත්ත වෙනුවෙන් පසුගිය මාර්තු 16 වනදා සිට 23 වනදා දක්වා සතිය, ත්‍රිපිටකාභිවන්දනා, සතිය ලෙස ප්‍රකාශයට පත් කෙරුණු අතර එය මුල්කර ගනිමින් දිවයින පුරා ආගමික වැඩසටහන් රැසක් සංවිධානය කර තිබිණි.
ත්‍රිපිටක ධර්ම දායාදය පිළිබඳ සහ අධ්‍යාත්මික ගුණවගාවෙන් යුත් යහපත් ජීවිතයකට මඟපෙන්වන බෞද්ධ දර්ශනය පිළිබඳව පාසල් දරුවන්ට හා ජනතාවට අවබෝධයක් ලබාදීමේ වැඩසටහන් සහ දානමය පුණ්‍ය කර්ම ඇතුළු ආගමික වතාවත් රැසක් ඒ හා සමගාමී ව දිවයින පුරා ක්‍රියාත්මක කෙරිණි.
අද පැවැත්වෙන ජාතික මහෝත්සවයට ත්‍රෛනිකායික මහා සංඝරත්නය මෙන්ම, ථෙරවාද බෞද්ධ රටවල සංඝරාජ හිමිවරුන් ද, එක්සත් ජාතින්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත හානා සිංගර් මහත්මිය ඇතුළු එක්සත් ජාතින්ගේ සංවිධානයේ විශේෂ නියෝජිතයන් සහ විදේශ තානාපතිවරු, මහකොමසාරිස්වරු ඇතුළු දෙස්-විදෙස් නියෝජිතයන් විශාල පිරිසක් එක්වීමට නියමිතය.